Published on: දෙසැම්බර් 12, 2023

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මඟින් කොමිස් මුදල් ලබා ගත නොහැකි නිසා ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධයි

විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලුවලට එම තත්ත්වය හේතු වුණා. ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට
    ආර්ථික කොමිෂන් සභාව කඩිනමින්

ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා කොමිස් මුදල් ලබාගත හැකි නමුත්  සූර්ය සහ සුළං වැනි බලශක්ති ව්‍යාපෘති මඟින් කොමිස් ලබාගත නොහැකි බැවින් එවැනි ව්‍යාපෘතිවලට ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පූනකරි වැවේ සිට කිලිනොච්චි නව ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව 100%ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියටද  විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් විරෝධය දැක්වූ බවත් රට මෙවැනි තත්ත්වයකට පත්වීමට මෙවැනි විරෝධතාද හේතුවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ අමාත්‍යාංශයේ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (12) විවාදයට ගැනුණු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

පුනකරි ව්‍යාපෘතිය යටතේ වැවක් හදලා අක්කර 20,000ක් නැවත වගාවට යෙදවීමට අපට අවස්ථාව තිබෙනවා. ඕස්ටේලියාවේ යුනයිටඩ් සෝලා එනජි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බැටරි මත රදා පවතින ආසියාවේ ලොකුම සුර්ය බළශක්ති පද්ධතියක් ශ්‍රී ලංකාවට ලැබි තිබෙන්නේ පළමු වතාවටයි.  මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. මේ අයට අවශ්‍ය ගල් අඟුරු. නැත්නම් තෙල්. ගල් අගුරු සහ තෙල් වලින් කොමිස් ලැබෙනවා. නමුත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ

මෙවැනි ව්‍යාපෘතිවලට  එදා සිටම ඉංජිනේරුවන් පිරිසක් විරුද්ධ වුණා. අපි 2003 නොරොච්චෝලේ නතර කළා. මොකද එම ස්ථානය ඊට සුදුසු නැහැ. නමුත් ඔවුන්ට ඕන වුණේ නොරොච්චෝලේ හදන්න. ත්‍රිකුණාමලයේ හෝ වෙනත් ස්ථානයක එම බලාගාරය ඉදිකළා නම් මේ ප්‍රශ්න මතු වන්නේ නැහැ.

අනිත් කාරණය බොහෝ ආයෝජන සමාගම් මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 30ක්,  40ක් ඉල්ලා සිටිනවා. නමුත් අපේ නීතියට අනුව ලබාදීමට හැකියාව තිබෙන්නේ වසර 20ක් පමණයි. එම නිසා එම නීති සංශෝධනය කළයුතුව තිබෙනවා.

මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රට දියුණු කරන්න බැහැ. අප තවම මේ තත්ත්වයේ සිටින්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් මේවට විරුද්ධ වූ නිසා.

එසේම තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා දැක් වූ අදහස් පහත දැක් වේ.

අමාත්‍යාංශය විසින් මා වෙත ලබා දුන් වාර්තාවට අනුව Pickme, Uber, Daraz වැනි සේවා සපයන්නන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විෂය පථයට නොගැනෙන නිසා ඔවුන් ආදායම් බදු හෝ වැට් බද්දෙන් නිදහස් නොකළ බව දැනුම් දී තිබෙනවා.

18%ක වැට් බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙම සමස්ථ ක්ෂේත්‍රයටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ මුදල් මඟින්  ලැබෙන ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් බව මම කියන්න කැමතියි. තොරතුරු තාක්ෂණ සේවා සැපයීම 2019 දෙසැම්බර් 31 දක්වා වැට් බද්දට යටත් වූ අතර 2020 ජනවාරි 1 වනදා සිට එය වැට් බද්දෙන් නිදහස් වුණා. නමුත් නව සංශෝධනයට අනුව තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන්  2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු ගෙවිය යුතුයි.

තොරතුරු තාක්ෂණ සමාගම් අපනයන ඉලක්කරගත යුතු නමුත්, එහි සේවා අපනයනය ශුන්‍ය අගයක් ගන්නා බැවින් තොරතුරු තාක්ෂණ සේවා කර්මාන්තයට බරක් නොවන පරිදි කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒවගේම, ඉන්දියාවේ පවා සියළුම වර්ගයේ තොරතුරු තාක්ෂණික මෘදුකාංග සැපයුම් සේවා නිෂ්පාදන සඳහා භාණ්ඩ හා සේවා බදු අනුපාතය (GST) 18% ක් ලෙස පනවා තිබෙනවා.

ප්‍රතිපත්තියක් ලෙස 18%ක වැට් බද්දක් පැනවීමට අප තීරණය කර තිබෙනවා. එය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතුයි.

මේ වන විට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන්, අපිට යම් සහයක් ලබා දෙන්න කියලා. ඇතැමුන් ඊට විරුද්ධ වෙනවා. ඔවුන් සෑම විටම කරන්නේ විරුද්ධ වීම පමණයි.

2003 අපි ටාටා සමාගම ගෙන ඒමට සූදානම් වු විට ඔවුන් සියලුදෙනා ඊට විරුද්ධ වුණා. නමුත් ඔවුන් ආදායම් එකතු කිරීම් සහ අභ්‍යන්තර කටයුතු සේවා ඩිජිටල්කරණය කිරීම පිළිබඳ අවධානය යොමු කළයුතුයි.දැන් ඔවුන් කියනවා ඔවුන්ට එය සිදු කරන්න පුළුවන් කියලා.

දැන් අවුරුදු 20කට පසුව නැවත අධාර් (ARDAR) පද්ධතියේ වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා.අප මෙය 2015 දී ආරම්භ කළ විට ඊට විදේශීය සේවකයන් අවශ්‍යද කියා ලොකු විවාදයක් ඇතිවුණා.

ඒක තමයි ලොකුම විවාදය බවට පත් වුණේ. එසේ නොමැතිව මෙම වැඩකටයුත්ත ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව නොවෙයි. අවසානයේ විදේශීය සේවකයන් ඊට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒ කෑගහපු අයගෙන් බාගයක්ම දැන් රටින් පිටවෙනවා.

 

අපට බරපතල පිරිස් හිඟයක් තිබෙනවා. ඒ නිසා ඕනෑම සමාගමකට විදේශීය  පුද්ගලයින්  අවශ්‍ය නම්, අපි එයට ඉඩ දෙනවා. අපි තවත් පිරිස් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා, නමුත් එයින් පුහුණු පිරිස් පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. පළපුරුදු පිරිස් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ නිසා යම් සමාගමකට විදේශීය කාර්ය මණ්ඩලය අවශ්‍ය නම්, අපි ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි.

අප AI තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සඳහා පමණක් මෙවර අයවැයෙන් රුපියල් බිලියන එකහමාරක් වෙන් කර තිබෙනවා. ඒ වගේම වෙනත් තාක්ෂණික පර්යේෂණ සඳහා තවත් බිලියන 8ක්  වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන භාවිතා කර මෙම ක්ෂේත්‍රයට ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළ යුතුයි.

අප සිදු කරන්නේ පර්යේෂණවලට අවධානය යොමු කිරීම සහ පර්යේෂණ වලට උදව් කිරීමයි. මොකද ඔබ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විභවය දෙස බැලුවහොත්, SLASCOM පවා බිලියන 5ක් පිළිබඳව කතා කළා. නමුත් අපි තවම බිලියන දෙකහමාරකටවත් ළඟා වී නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන්ට බිලියන හතකට පමණ ළගා විය හැකියි.  ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය සහාය රජය විසින් ලබා  දීමට සූදානම්.

අපි ඉතා වේගයෙන් ඩිජිටල්කරණය දෙසට ගමන් කරමින් සිටිනවා වගේම අපි ඉදිරි වසර දෙක තුන තුළ එම අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඔබට 18%ක වැට් බද්දක් ගෙවීමට සිදු විය හැකි නමුත් එයින් ඔබ රටේ සංවර්ධනයට දායක වෙනවා. අප කෘත්‍රීම බුද්ධිය හෙවත්  AI තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මොකද අප AI තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එසේ නොමැති වුවහොත් අපට අඩු ආදායම් සහ අඩු වැටුප් සහිත නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් මියන්මාරය සමග තරග කිරීමට සිදු වෙනවා. අලුතින් ඩිජිටල් පරිවර්තන ආයතනයක් පිහිටුවීමට අප කටයුතු කරන අතර එය යම් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක වනු ඇතියි.නමුත් ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මෙන් ව්‍යාපෘති කළමනාකරණයට සම්බන්ධ වන්නේ නැහැ. මෙය වසර 10කට පෙර කළයුතුව තිබූ කටයුත්තක්.

ඒ වගේම ඩිජිටල් තාක්ෂණය සහ නවෝත්පාදන කවුන්සිලය පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා, එය තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වාණිජකරණය කිරීම පිළිබඳව සොයා බලනු ඇතියි.

මෙම කටයුතු සඳහා මෙරට ඉතිහාසයේ කිසිදා මෙවන් මුදලක් වෙන් කර නැහැ. මෙවැනි විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ පළමු වතාවට බව කිවයුතුයි.

අපි ශක්තිමත් විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමක් ඇති රටක් බවට පත්විය යුතුයි. එසේ නැතිව අපට ඉදිරියට යන්න බැහැ. කෘෂී නවීකරණ වැඩපිළිවෙළද ඊට සම්බන්ධ වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය යොදා ගැනීම සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වෙනවා. මේ වෙන් කර ඇති මුදල් වලින් කොටසක් ඒ සඳහා ද ලබාදීමට අප අපේක්ෂා කරනවා.

අපට ඇත්තේ සීමිත භුමි ප්‍රමාණයක්. එය උපරිමයෙන් භාවිතයට ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතා කළයුතුයි. මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට  ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා. ඊට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වයක ලබා ගන්නවා.

 

ඒ වගේම වී ඇතුළු අනෙකුත් බෝගවල ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අප කටයුතු කළයුතුයි. විශේෂයෙන් රබර් ගත් විට අපට එම කර්මාන්තය ආශ්‍රිතව විසඳාගත යුතු ගැටළු තිබෙනවා.

ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවයක් පවතිනවා.

සුළං බලයෙන්  පමණක් ගිගාවොට් 30ක් 40ක් දක්වා විදුලිය නිෂ්පාදනය කළ හැකි බව ප්‍රකාශ කරනවා. සූර්ය බලශක්තිය මගින් ගිගාවොට් 200ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර ඇති අතර ශෘහස්ත සූර්ය බලශක්තිය නොමැතිව එය දෙගුණයක් වන බව අමාත්‍යවරයා මට පැවසුවා.එසේ නම් මේ සඳහා අපට ඉහළ විභවතාවක් පවතිනවා. අපට මෙම බලශක්තිය ඉන්දියාවට අළෙවි කළ හැකියි. එහිදී අප හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා  පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඉංජිනේරු විද්‍යාවෙන් කිසිවෙකුට අපව පරාජය කරන්න බැහැ.අපේ රටේ පැරණි ගොඩනැගිලි ඊජිප්තුවරුන් ගොඩනැඟු ඇතැම් පිරිමීඩවලට වඩා  උසස් මට්ටමක තිබෙනවා. එදා අපේ මුතුත් මිත්තන් ගොඩනැඟු චෛත්‍ය අර්ධ රවුම් ආකාරයට නිර්මාණය කෙරුණා. එය බොහෝ අසීරු කටයුත්තක්. ඒ වගේම සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණ අපේ රටේ සිදු කෙරුණා. එම නිර්මාණ අපේ රටේ විශිෂ්ටත්වය ලෝකය හමුවට ගෙන ගොස් තිබෙනවා. එවන් විශිෂ්ඨ නිර්මාණ ඇති අනෙක් එකම රට චීනයයි. චීනය සමඟ ගත්විට අප ඉතා කුඩා රටක්.

අද (අ.පො.ස)  උසස් පෙළ විභාගය සමත්වන සිසුන් දෙස බැලූ විට දැනට පවතින විශ්වවිද්‍යාලවලට අමතරව ඔවුන් වෙනුවෙන් තවත් විශ්වවිද්‍යාල අවශ්‍ය වෙනවා. අප රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව එම විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. ඒ අනුව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුබද්ධව තවත් විශ්වවිද්‍යාල දෙකක් කුරුණෑගල සහ සීතාවක ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව NSBM ආයතනය රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත්වනු ඇතියි. චෙන්නායි IIT හි මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අප ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙනවා.  එය ඉදිරියේදී ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරනු ඇතියි. මේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ  තාක්ෂණය සහ  විද්‍යාව වෙනුවෙන්. ‍

ඒ වගේම විදේශ ආධාර යටතේ තවත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප සාකච්ඡා කරනවා. මේ අන්දමින් නව විශ්වවිද්‍යාල තුන හතරක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවෙන් ලැබෙන විශ්වවිද්‍යාලයත් සමඟ එය පහක් බවට පත්වෙනවා.මෙම විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම සහතික කිරීම වෙනුවෙන් අප අවශ්‍ය නීති සංශෝධනය කරනවා.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට අප ඉඩ ලබාදෙන අතර ඒවායේ සියලු කටයුතු තාක්ෂණය සහ කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර  මත පදනම් විය යුතුයි. අපේ අපේක්ෂාව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුළුල් කිරීමයි. මේ ආකාරයට විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමට අප කටයුතු කරනවා.

 

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ  ඇති කළ මහවැලි කලාපය සහ නිදහස් වෙළෙඳ කලාප දෙක මේ රටේ සිදුවූ විශාල පරිවර්තනයක් බව කිවයුතුයි. අප දැන් සිදු කිරීමට සූදානම් වන දේ ඊටත් වඩා විශාල පරිවර්තනයක් වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. එම නිසා එය සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දිය යුතුයි.

ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මෙම කටයුතු සඳහා මා සමඟ එක්වන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. අපි සියලුදෙනා එක් වෙලා රට තුළ විද්‍යාත්මක සහ තාක්ෂණික විප්ලවයක් ඇති කරමු.

ඒ වගේම ආයෝජන සම්බන්ධයෙන් නීති ගෙන ඒමට අප කටයුතු කරනවා.  එළැඹෙන ජනවාරි, පෙබරවාරි මාස වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඉවත් වී යනු ඇතියි.එම කටයුතු සඳහා ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කෙරෙනවා. සියලු ක්ෂේත්‍රයන්හි ආයෝජන රටට ආකර්ශණය කර ගැනීම එහි අරමුණයි.

එහි කටයුතු දැන් සිදුවන අන්දමට වඩා වෙනස් ආකාරයට සිදුවනු ඇතියි.එහිදී කාර්මික ප්‍රදේශ සහ ආයෝජන කලාප වෙන් කෙරෙනවා. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ද පිහිටවනු ලබනවා.  රජය සමග පෞද්ගලික අංශයත් ඊට සම්බන්ධ වෙනු ඇතියි. ඒ සියල්ලම පොදු සමාගම් ලෙස ලියාපදිංචි වෙනවා. ඉන් පසුව ඔවුන් ඔබට ‍සේවාව ලබාදෙයි.

යෝජිත සංස්ථාව විසින් මෙම ආයෝජන කලාප අධීක්ෂණය සහ නියාමනය කරනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් ද පිහිටවනු ලබන අතර එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතියි. ඒ නිසා මෙම ආයතන තුන එකිනෙකට සම්බන්ධ වෙනවා. එය තමයි විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම සඳහා අප විසින් සකස් කර ඇති නව ආයතන ව්‍යහුය.

ඒ වගේම වරාය කොමිෂන් සභා පනතෙන් එය මූල්‍ය නගරයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අපිට ෂර්මන් සහ ස්ටර්ලින් සමාගමෙන් ලැබුණු කෙටුම්පත තිබෙනවා. ඔවුන් එය යාවත්කාලීන කර තිබෙනවා. ඔවුන් සිදු  කරන්නේ රෙගුලාසි සකස් කිරීමයි.

එමඟින් අක්වෙරළ මූල්‍යකරණය සඳහා ප්‍රතිපාදන සලසා තිබෙනවා. රජයේ අපේක්ෂාවන් සහ ලබන වසරේ සැලසුම් කර ඇති කටයුතු ඔබට ඉදිරිපත් කිරිමට මම සිතුවා. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ඔබ සියලුදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතියි කියා මම විශ්වාස කරනවා.

මම එදා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී  ප්‍රේමදාස ජනාධිපතිවරයා මගෙන් විමසුවා “ඔබ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය භාර නොගන්නේ ඇයි” කියා. මම කිව්වා “ජනාධිපතිතුමනි, මම නීතිඥයෙක්, මම විද්‍යාඥයෙක් නෙවෙයි” කියලා. ඔහු කිව්වා  මම කියන දේ අහලා  ඔබ එම අමාත්‍යාංශය භාරගන්න” කියලා. මට එදා එම අමාත්‍යාංශය තුළ බොහෝ වැඩ කිරීමට හැකි වුණා. ඒ වගේම මට නැවත එම අමාත්‍යාංශයේම වැඩ කරන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.