Published on: මාර්තු 27, 2024

ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කළ ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාව අමතමින් ජනපති පවසයි

ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම සියළු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමි වන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (26) පැවති ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අමතමිනි.

දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි කලාප 100 ක ස්ථාපිත කර ඇති සෑම කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවකින්ම වැඩිම මනාප ලබා ගත් සභිකයින් දෙදෙනෙකු බැගින් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ අනුග්‍රහයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා (26) පවත්වනු ලැබූ මැතිවරණයෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා කතානායක,අගමැති, නියෝජ්‍ය කතානායක යන ධූරයන්ද ,අමාත්‍යවරුන් 10 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනකුද පත් කරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන පාසල් සිසුන්ට ජනාධිපති කාර්යාලය ඇතුළු කොළඹ පිහිටි විශේෂ ස්ථාන නැරඹීමේ අවස්ථාව ලබා දීමේ වැඩසටහන ඇසුරෙන් ප්‍රකාශයට පත් කරන ලද ‘පිබිදුනු සිසු මැති සබය” කෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබිණි.

එසේම මෙම අවස්ථාව සනිටුහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.

මෙරට දේශපාලනය පිළිබඳව ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ගේ අදහස් හා යෝජනාවලටද අවස්ථාව ලබා දුන් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානය නැරඹීමේ අවස්ථාවද ඔවුන් වෙත සළසා දුන්නේය.

ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකයන් වෙත සහතික පත් ප්‍රදානය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සිදු කරන ලදී.
මෙහිදී ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීමට රැස් වූ ඔබ හමුවීමට ලැබීම සතුටට කාරණයක්.

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ එකම රට ශ්‍රී ලංකාව පමණක් වන නිසා අප ‍විශේෂ රටක්. 1833 දී මෙරට ව්‍යවස්ථාදායක සභාව ආරම්භ කළා. එදා ඡන්දයක් පැවැත්වුණේ නැහැ. එහිදී සිදු වුණේ ආණ්ඩුකාරවරයා විසින් ලාංකිකයෝ කිහිප දෙනකු ඒ සඳහා පත් කිරීමයි.

ලාංකිකයෙක්ට මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා අවස්ථාව ලැබුණේ 1912 දීයි. ඒ අවස්ථාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි වුණේ නැහැ. දේපොල හා අධ්‍යාපනය පදනම් කර ගත් පන්දහසක පමණ පිරිසකට ඡන්දය ලබා දීමට අවස්ථාව හිමි වුණා.

ඉන්පසු 1931 දී මෙරටට සර්ව ජන ඡන්දබලය හිමි වුණා. ඒ අනුව වයස අවුරුදු 21ට වැඩි කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමි වූ ආසියාවේ පළමු රට බවට අප පත් වුණා. එදා සිට මේ දක්වා ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂය තහනම් නොකර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ගෙන යන එකම ආසියානු රට ශ්‍රී ලංකාවයි. 1931 න් පසු අනෙක් සෑම රටකම විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව තිබෙනවා. අපට කොපමණ බැන්නත්, දොස් කිව්වත් අඩුපාඩුකම් ගණනාවක් සමඟ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය අප ආරක්ෂා කර තිබෙනවා.

පසුව ඩොනමෝර් ක්‍රමය යටතේ අපට අමාත්‍ය ධූර හතක් ලැබුණා. අමාත්‍යධූර තුනක් සුදු ජාතීන් විසින් තබා ගත්තා. පසුව ඒ සඳහාද ලාංකිකයන් පත් කරනු ලැබුවා. මේ සභාව විසින් කමිටු හතක් පත් කර එයින් සභාපතිවරු හත් දෙනකු පත් කර ගනු ලැබුවා. ඔවුන් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළා. මොකද ඒ කාලේ දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. ලෝක යුද සමයේදී යුද කටයුතු හැර අනෙක් සියළු කටයුතු ලංකාවට බාර දුන්නා. මොකද ඒ කාලේදි ශ්‍රී ලංකාව කටයුතු කළේ බ්‍රිතාන්‍ය, අමෙරිකාව, සෝවියට් දේශයත් සමඟයි.

ඉන්පසු සෝල්බරි ව්‍යවස්ථාව අනුව අපට නිදහස හිමි වුණා. පළමුවෙන්ම ඔබ මේ සිටින ගොඩනැඟිල්ල ඉදි කළේ ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමටයි. ඉන්පසු ඩොනමොර් කොමිසම මේ සභාවේම ඇති කළා. නැවත මහජන මන්ත්‍රණ සභාව ලෙසද මෙය ක්‍රියාත්මක වුණා. සෙනෙට් සභාව සහ මහජන මන්ත්‍රණ සභාවද තිබුණේ මෙම ස්ථානයේයි.

1972 වසරේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ විට මෙය ජාතික රාජ්‍ය සභාව බවට පත් වුණා. 1977 දී මා ඇතුළු වුණේ ජාතික රාජ්‍ය සභාවටයි. ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ හතර දෙනෙක් අද පාර්ලිමේන්තුවේ සිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වාසුදේව නානායක්කාර මහතා 1970ත්, ආර්. සම්බන්ධන් මහතා සහ මම 1977 දීත් මෙහි පැමිණියා. 1977 දී මෙරට විධායක ජනාධිපති ක්‍රමයට පිවිසුණා. 1982 දී අප අලුත් පාර්ලිමේන්තුවට ගිය පසු මෙම ගොඩනැඟිල්ල ජනාධිපති කාර්යාලය බවට පත් වුණා.

මේ පසුබිම තුළ ලෝක යුද්ධ, අභ්‍යන්තර යුද්ධ තිබුණත් අප කිසි දවසක ප්‍රජාතන්ත්‍රවාදය වගේම ආණ්ඩුවේ සහ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය නැති කළේ නැහැ. මේ ක්‍රමවේදය නිසා සියළු දෙනාගේම අදහස් ඉදිරිපත් කෙරුණා. මේ පාර්ලිමේන්තු ක්‍රමය අප ආරක්ෂා කළ යුතුයි.

මුළු ආසියාවටම සහ අප්‍රිකාවට එය සිදු කර තිබෙන්නේ රටවල් දෙකක් පමණයි. එකක් ශ්‍රී ලංකාව වන අතර අනෙක් රට වන්නේ මුරුසි රාජ්‍යයයි. එසේ නම් අපි සියළු දෙනා එක්ව මෙය ආරක්ෂා කළ යුතුයි. යුරෝපයේද ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව පවත්වා ගෙන ගියේ මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ස්විස්ටර්ලන්තය සහ ස්වීඩනය පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යාම පිළිබඳව අපට උපදෙස් දෙන අනෙක් සෑම රටක්ම පාහේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට යටත් වුණා.

මෙම ක්‍රමවේදය පවත්වා ගෙන යාම පිළිබඳව ඉගෙනීමට මෙතැන සිටින ඔබ කැමති ඇති. ඒ වගේම දේශපාලනය පිළිබඳව ඉවක් තිබෙන අයද මෙතැන සිටිය හැකියි.ඒ සඳහා ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පදනම වනු ඇති බව විශ්වාස කරනවා.

ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් දැක්වූ අදහස් අතුරින් කිහිපයක් පහත දැක්වේ,

  • ජනාධිපතිතුමනි මේ රටේ තිබෙන්නේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නොවෙයි. ඔබතුමා සඳහන් කළ පරිදි ලංකාව කියන්නේ මිනිසුන්ගේ කැඩපත බඳු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන රටක්. ඒ වගේම 100%ක් සර්ව ජන ඡන්ද බලය දී ඇති රටක්. මේ රටේ ජනතාවගේ දේශපාලන සවිඥාණිකත්වය පිළිබඳව ගැටළුවක් තිබෙනවා. මිනිස්සු දන්නේ නෑ ඡන්දයක් තුළ අප මනාපයක් ලබා දිය යුත්තේ ඇයි කියලා. අපේක්ෂකයකුට මනාපයක් ලබා දිය යුත්තේ මොන හේතුවක් මතද කියන කාරණය ඔවුන් දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපට එක් යෝජනාවක් තිබෙනවා. මේ රටේ දේශපාලන විද්‍යාව උගන්වන්නේ උසස් පෙළ සඳහා පමණයි. යුරෝපයේ වගේ නම් අවුරුදු 15න් පසු දේශපාලනය සම්බන්ධයෙන් සෑහෙන දැනුමක් ලබා දෙනවා. නමුත් ඒ විඥාණය මෙරට ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ නිසා මම හිතන්නේ මොන ක්‍රමය තිබුණත් අපි උත්තර දෙන්න අවශ්‍ය වන්නේ මූල බීජයටයි. ඔවුන්ගේ දේශපාලන සවිඥාණිකත්වය හැදුවට පසු පවතින ක්‍රමයත් සමඟ සර්ව ජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් සමඟ අපගේ අවසන් අරමුණට යා හැකියි.
  • ජනාධිපතිතුමනි, මා දකින විදියට අනෙක් රටවල වගේ මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික කිරීමට අපට හැකියාව තිබුණා නම් මේ තත්ත්වය අපට වෙනස් කර ගත හැකියි. පොතේ ඇලී ගැලී සිටින අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් තුළින් හිතන පතන ආකාරයේ සිටම වෙනස් කරන්න පුළුවන් වෙනවා. වසර ගණනක් ලංකාවේ ඉගෙන ගෙන ලංකාවෙන් පිටවෙන්න නෙවෙයි, ලංකාව තුළ දෙයක් කරලා ලංකාව ලෝකෙට ගෙන යන්න පුළුවන් කියන සිතුවිල්ල ඇති කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයයි.
  • ජනාධිපතිතුමනි, මේ රටේ දේශපාලන පක්ෂ තිබිය යුතුයි. නමුත් මගේ පෞද්ගලික මතය වන්නේ දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැහැ කියන එකයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සියළු දෙනාටම ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන මානව කොට්ඨාසයක් ලෙස අපට වැදගත් සහ අප බලාපොරොත්තු වන නායකත්වයක් බිහි කරන දේශපාලන පක්ෂයකට එකතු වුණා නම් එතැන තමයි අපි බලාපොරොත්තු වන සාර්ථකත්වය තිබෙන්නේ. ශ්‍රී ලංකාව සුන්දර, දියුණු රටක් කියන තැන තිබෙන්නේ එතැනයි.
  • ජනාධිපතිතුමනි, පුංචි ගමක ඉපදුන මට ජනාධිපතිතුමාව දකිනවා කියන එක, මුහුණට මුහුණ මෙහෙම කතා කරනවා කියන එක මට ලොකූ හීනයක් වෙලා තිබුණෙ. සුප්‍රකට දාර්ශනිකයින් පවා කියනවා ලෝකය වෙනස් කළ හැකි එකම ආයුධය අධ්‍යාපනය බව. ළමයකුට සතුටින්ම සිටිය හැකි තැන ලෙස තමයි “ස්කොලා” කියන ලතින් වචනයෙන් හැදුන “ස්කූල්” කියන වචනයෙ තේරුම වන්නේ. නමුත් මා ඇතුළු මේ සියළු දෙනා දන්නවා අපිට ඉස්කෝලෙ දැනෙන්නේ එහෙමද කියලා. මේ අධ්‍යාපන ක්‍රමය අපට විශාල පීඩනයක් වී තිබෙනවා. අපටත් දියුණු රටවල පවතින ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි. රටක් ලෙස අපි කවුරුත් එකතු වුනොත් අපිට ඒක කරන්න පුළුවන්. අපි එකතු වුනොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ.
  • ජනාධිපතිතුමනි අපේ අධ්‍යාපන ක්‍රමය සැකසී තිබෙන්නේ විභාග කේන්ද්‍රීයවයි. මෙය රැකියා කේන්ද්‍රීය අධ්‍යාපනයට යොමු වුවහොත් අප මුහුණ දෙන ගැටළු රැසකට විසඳුම් ලැබෙනු ඇති කියා මම හිතනවා. මොකද අපි මේ ඉගෙන ගන්න සමහර දේවලින් ඉදිරියේදී මොනවද කරන්න පුළුවන් කියලා අපිටවත් හිතා ගන්න බෑ. රැකියා වෙළෙඳ පොලට ගැළපෙන ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව අප යෝජනා කරනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්, අතිරේක ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.