Published on: අගෝස්තු 10, 2022

පළාත් පරිපාලන හා සංවර්ධනය ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සහ පළාත් සභාවේ වියදම් කළමනාකරණ වගකීම ආණ්ඩුකාරවරුන්ට.

පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු පළාත් ආණ්ඩුකාරවරු මේ පිළිබඳ ලිඛිතව දැනුවත් කර ඇත.
වර්තමාන අභියෝගාත්මක කාලසීමව තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වේ.
පළාත් සභා පරිපාලනය, සංවර්ධන කටයුතු හා පළාත් සභා වියදම් කළමනාකරණය කිරීමේදී ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමග අනුගතව කටයුතු කිරීම මෙන්ම ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම ඉතා වැදගත්ය.
තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරු පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවට ලිපියෙන් දන්වා ඇත.
ඒ අනුව අවම වශයෙන් දෙසතියකට වරක් තම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා පළාත් සභාව හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ නිරන්තර කථිකාවක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.
මෙම අසීරු කාලවකවානුව තුළ ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුකරුවන් දක්වන දායකත්වය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා අවධානයෙන් පසුවන බව ද ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-10

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.