Published on: ජූනි 25, 2024

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා

  • කොළඹ වරාය නගරයයේ ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම දෙස් විදෙස් ආයෝජකයන් වෙත – ජනපති.

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ  අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ තුළ ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය.

සමාරම්භක සැසියෙන් අනතුරුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක  සාගල රත්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභාවක් ද පැවැත්විණ.

එසේම මෙම සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ IFS සමාගමේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මොෆට් මහතා අතර හමුවක් ද සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අප වේගවත් වර්ධනයක් දෙස අවධානය යොමු කරනවා නම්, නිසැකවම ඩිජිටල් ආර්ථිකය සහ සමස්ත නවෝත්පාදන පද්ධතිය අත්‍යවශ්‍ය වෙනවා. අප එය ආරම්භ කළේ සංචාරක කර්මාන්තය හා කෘෂිකාර්මික නවීකරණය හරහායි. මෙය හඳුනාගෙන ඇති තවත් වේගයෙන් වර්ධනය වන අංශයක්. ඉතින් අප එය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? අප මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද?

කෙසේ වෙතත් අප සතු හැකියාව සහ අපගේ අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා.  පළමුවෙන්ම, අපගේ ආර්ථිකය තුළ මෙම අංශය පුළුල් කරන්නේ කෙසේද යන්න  සොයා බැලිය යුතුයි. ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනය අපට සහය වන්නේ කෙසේද? යන්න සොයා බැලිය යුතුයි.

මේ වන විට අපි සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය ඩිජිටල් අංශයේ ව්‍යාප්තිය සමඟ එකට බැඳෙනවා. කෘෂිකර්මාන්තය, සුහුරු කෘෂිකර්මයක් ලෙස නවීකරණය කිරීමට අපගේ අවධානය යොමුවී තිබෙනවා.

දෙවනුව, ඕනෑම අංශයක් පුළුල් කිරීමේදී, සළකා බැලිය යුතු කරුණු දෙකක් තිබෙනවා. ඒ ආර්ථික අර්බුදය සහ තාක්ෂණය භාවිතා කිරීමයි. එම තාක්‍ෂණය දියුණු කිරීමට සහ භාවිතා කිරීමට හැකි ශ්‍රම බලකායක් ද අපට අවශ්‍ය වෙනවා.  ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් ගත් විට, අප එය හඳුනාගෙන තිබෙන්නේ, ඒ සඳහා පවතින ඉල්ලුම වැඩිවෙමින් පවතින නිසයි. මීට අමතරව, ආසියාවේ සහ අප්‍රිකාව දෙසින් අනාගතයේදී ඇතිවන ඉල්ලුම දෙස බලන්න. දෘඪාංග සහ මෘදුකාංග යන අංශ දෙකම ආවරණය වන ආකාරයෙන් චීනය සහ ඉන්දියාව යන දැවැන්තයින් දෙදෙනෙකු අතර අප සිටිනවා. අප එම දැනුම ප්‍රයෝජනයට ගෙන මේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

අප දැනටමත් ඉන්දියාව සමඟ පෞද්ගලික අංශයේ පවතින අවස්ථා පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සමාගම්වල රාජ්‍ය නොවන ඉන්දියානු වෙළඳ සංගමය (NASSCOM) යන ආයතන මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කරන අතර, තවත් ආයතන ද ඒ සඳහා එක්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අප මෙම වෙළෙඳාම ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අතර අපගේ ජාතික වේදිකාව ගොඩ නැඟීම සඳහා ද එමගින් සහාය ලබා ගන්නවා. චීනය සමඟ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එහි ද අප සාර්ථක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. අප සිටින්නේ ආසියාවේයි. අප ඉදිරියට යා යුත්තේ මෙතැන සිටයි. අප විවිධ ක්ෂේත්‍ර දෙස බැලිය යුතුයි.

ඒසේම කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සැලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ඒ සමඟම, ඒ තුළ කුමන ව්‍යවසායන් දියුණු කළ යුතුද සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතිරි වැඩ කටයුතු දෙස් විදෙස් ආයෝජකයන්ට පැවරෙනවා.

යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත්විට, අප විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද  ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව සහ ජාතික විද්‍යා පදනම යටතේ  ජාතික මට්ටමින්  පහසුකම් ගොඩනගමින් සිටිනවා. ඊට අමතරව අප නව නීති හඳුන්වා දෙනවා. පළමුව, අප ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන තාක්ෂණික උපදේශකයා ලෙස කටයුතු කරනු ලබන ප්‍රධාන තාක්ෂණ නිලධාරියෙකු නිර්මාණය කරනවා. ඉන්පසුව, අප තාක්ෂණික හා නවෝත්පාදන කවුන්සිලය පිහිටුවනවා. එය වාණිජකරණය මත පදනම් වූ පර්යේෂණ සඳහා අරමුදල් සපයනු ඇතියි.

අප ජාතික විද්‍යා පදනම හරහා ශුද්ධ හා ව්‍යවහාරික විද්‍යාවන් සඳහා ද අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පර්යේෂණ වාණිජකරණය සඳහාද ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ශුද්ධ හා ව්‍යවහාරික පර්යේෂණ සඳහා රජය විසින් ලබාදෙන සියලුම අරමුදල් ජාතික විද්‍යා පදනම හරහා ලබාදෙන අතර, එහි ප්‍රමුඛතාවන් සකස් කර ඒවායේ කාර්ය සාධනය ද අධීක්ෂණය කරනවා. සියලුම රාජ්‍ය ආයතන මෙයට අනුකූල විය යුතු අතර පර්යේෂණ වාණිජකරණය කිරීමට අපේක්ෂා කරන පිරිස් කොමිෂන් සභාව සමඟ කටයුතු කළ යුතුයි. මෙම ක්‍රමය රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම මෙන්ම මීට පෙර පර්යේෂණ කටයුතු අත්හැර දමා තිබූ විශ්වවිද්‍යාල සඳහාද විවෘත වෙනවා.

අප ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය ද පිහිටුවනවා. මින් පෙර පරිගණක හා තොරතුරු තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ අප දැන් මේ හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් සිටිනවා. අප හඳුන්වා දෙනු ලබන අවසාන නව ආයතනය වන්නේ ජාතික කෘත්‍රිම බුද්ධි (AI) මධ්‍යස්ථානයයි.

මෙම වැඩසටහන සඳහා මානව සම්පත් අවශ්‍ය වෙනවා. කෙටි කාලීනව, මෙම මානව සම්පත අපට වැඩිපුර නිෂ්පාදනය කළ හැකි නමුත් එය ඉදිරියේදී ප්‍රමාණවත් නොවිය හැකියි. මගේ මතය නොවුනත් ඇතැම්විට අපට මේ සඳහා පිටතින් පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට සිදු විය හැකියි.ඒසේ නම් ඒ් මේ සඳහා බාධා නොකළ යුතුයි. අප වැඩි  ශ්‍රම බලකායක් පුහුණු කරන තරමට ප්‍රතිඵලය යහපත් වනු ඇතියි. රට තුළ අපට පළපුරුදු මානව සම්පත අවශ්‍ය නම්, සමාගම්වලට බාධා නොවන පරිදි සහ ශ්‍රී ලාංකිකයන්ට මධ්‍ය කාලීනව ප්‍රගතියක් ලබා ගත හැකි වන අයුරින් කෙටි කාලයක් සඳහා පිටතින් මානව සම්පත සපයා ගැනීමට ඉඩ දිය යුතුයි.

ඒ් වගේම අප මේ වන විට සමස්ත වෘත්තීය පුහුණු ක්‍රමවේදයම ප්‍රතිව්‍යුහගත කරමින් සිටිනවා. එහිදි ආයතන බොහෝ ප්‍රමාණයක් වෙනුවට පළාත් නියෝජිතායතන නවයක් සහිත එක් අධිකාරියක් පිහිටුවන අතර එම එමඟින්  පවත්වාගෙන යනු ලබන විවිධ පුහුණු මධ්‍යස්ථාන සියල්ල වෘත්තීය විද්‍යාල බවට පත් කරනවා.

ඒ සමඟම තාක්ෂණික විද්‍යාල ද ප්‍රතිසංස්කරණයට ලක්වෙනවා. අප සිසුන්ට වසර දෙකකින් පමණ උපාධියක් ලබා ගැනීමට ඉඩ සලසනු ලබන සහාය උපාධි වැඩසටහනක් හඳුන්වා දීමට සැලසුම් කරනවා. වෘත්තීය හා තාක්ෂණික විශ්වවිද්‍යාල, විවෘත විශ්වවිද්‍යාලය හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලින් අවසානයේ උපාධිය හෝ ශාස්ත්‍රපති උපාධි දක්වා ඉහළ යා හැකි සහාය උපාධි සහිත උපාධිධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි අරමුණයි. මෙම ප්‍රවේශය උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකෙහිම යෙදී සිටින පිරිස්වලට ප්‍රයෝජනවත් වනු ඇතියි.

චෙන්නායි IITහි මණ්ඩපයක් මහනුවර ආරම්භ කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒවගේම අප කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආකෘතිය අනුව සැකසුනු නව විශ්ව විද්‍යාල තුනක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වෙනවා. පළමුවැන්න කුරුණෑගල විශ්වවිද්‍යාලය, සීතාවක සහ කොළඹින් පිටත ඇතැම් විට ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳවත් අප සලකා බලමින් සිටිනවා. මෙම විශ්ව විද්‍යාල තාක්‍ෂණය සහ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන අතර විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අනෙකුත් විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතියි.

අප විශ්වවිද්‍යාල තුළ පවතින පහසුකම් වැඩි දියුණු කරමින් ඒවා පුළුල් කරනවා. දැනට ඉංජිනේරු පාඨමාලා නොමැති සමහර විශ්ව විද්‍යාලවලට ඒවා හඳුන්වා දීමට අවසර දෙනු ලබන අතර, විශ්වවිද්‍යාල තුළ කෘත්‍රිම බුද්ධිය (AI) ඉගැන්වීම හඳුන්වාදීම සම්බන්ධයෙන් ද කටයුතු සිදු කරමින් තිබෙනවා.

කලා විෂය ධාරාවෙන් කලා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවක් අපට ඉන්නවා. රජයේ රැකියා දෙස බැලුවොත් මේ වන විට ඒ අයට රැකියා ලබාදීම ගැටළුවක් වී තිබෙනවා. භූගෝල විද්‍යාව වැනි විෂයයන් හෝ වෙනත් විෂයයන් හදාරන අවස්ථාවක ඒ අනුව ඔවුන්ට රැකියා ලබාදිය හැකි සමාගම් තිබේද යන්න පිළිබඳ අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් විශ්ව විද්‍යාලයේ සිටියදී, මෙම සිසුන් තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන්  බවට පත්වන්නේ නම් එවිට ඔවුන්ට රැකියා සොයා ගත හැකියි.

මෙම වැඩසටහන මඟින් නිශ්චිත පිරිසකට රැකියා අවස්ථා සැලසෙනවා. මේ සඳහා රජය අරමුදල් සපයනු ඇතියි. වැටුප් ගෙවීමට මුදල් නොමැති නිසා සංවර්ධන නිලධාරීන් ලෙස තවත් අමතර රැකියා ඇති කිරීමට වඩා තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට මුදල් ලබාදීම වැදගත් වනවා. ඒ නිසා, යෝජනා වී ඇති මෙම වැඩපිළිවෙල ස්ථාපිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ සැමදෙනා සමඟ සාකච්ඡා කිරීමට අප සූදානම්.

තවද අධි තාක්‍ෂණික නගර සඳහා ද අප  යටිතල පහසුකම් ස්ථාපිත කළ යුතුයි.  මේ සඳහා අවම වශයෙන් අක්කර 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබෙන කොළඹට තදාසන්න ප්‍රදේශයක පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. යාපනය වැනි කුඩා ප්‍රදේශවලට අක්කර 25ත් 50ත් අතර ප්‍රමාණයක නගර පිහිටුවිය හැකියි. එක් ප්‍රධාන අධි තාක්‍ෂණික නගරයක් කොළඹ ද, තවත් නගරයක් මහනුවර ද පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. මෙය අපගේ වර්තමාන චින්තනයයි. මානව සම්පත් සංවර්ධනය සහ පර්යේෂණ කෙරෙහි අප සැලකිය යුතු අවධානයක් යොමු කරනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන ආර්ථික ප්‍රබෝධයක් අත්කර ගෙන තිබෙනවා. පොලී අනුපාත 30% සිට 12% දක්වා පහත වැටී ඇති අතර උද්ධමනය 68% සිට තනි ඉලක්කමක් දක්වා අඩු වී තිබෙනවා. විනිමය අනුපාතිකය ස්ථාවර කරමින් අපගේ විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 දක්වා ශක්තිමත් වී ඇති අතර අපගේ දළ දේශීය නිෂ්පාදිතය ධන 5.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ජයග්‍රහණ සියල්ල මෙම ඩිජිටල් ආයෝජන සමුළුවට සත්කාරකත්වය සැපයීම වෙනුවෙන් අප පරිපූර්ණ ලෙස ස්ථානගත කර තිබෙනවා.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ තනි පුද්ගල අන්තර්ජාල භාවිතය 3.9% කින් වර්ධනය වී ඇති අතර එය ගෝලීය සාමාන්‍ය වන 1.8% ද ඉක්මවා තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිතය 6.5% කින් ඉහළ ගොස් ඇති අතර, අපගේ ජංගම දුරකථන භාවිතය 148% ක් වනවා. මෙම තත්ත්වය මඟින් මෙරට ඩිජිටල් පරිවර්තනයක් සඳහා අප සතු හැකියාවන් පෙන්නුම් කෙරෙනවා. 2025 වන විට දීප ව්‍යාප්ත වශයෙන් 4G ආවරණය ලබා ගැනීම අපගේ ඉලක්කය වන අතර අපගේ අන්තර්ජාල සම්බන්ධතා සඳහා ඇති විකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් Starlink අන්තර්ජාල සේවාව සඳහා ද  අප මූලික අනුමැතිය ලබා දී තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

DigiEcon වැඩසටහන  තාක්ෂණ අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒසේම රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට ලක් කිරීම ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන සාධකයක් වී තිබෙනවා. රේගු සත්‍යාපන කටයුතු සහ සැපයුම් ඩිජිටල්කරණය කිරීම වැනි තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් සිදු කළ මෑත කාලීන ව්‍යාපෘතීන්, විශේෂයෙන් විදේශ ආයෝජන සඳහා පෙර තිබූ අපහසු ක්‍රියාවලීන් විධිමත් කර තිබෙනවා. ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යන ආයතන දෙක මේ වන විට සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් මෙවලම් භාවිතා කරනු ලබනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක  සාගල රත්නායක මහතා,

ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා මේ වන විට මුදල්, මූල්‍ය සහ පාලන යන අංශයන්ගේ සැලකිය යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙනවා. මූල්‍ය අංශයෙන්, මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි නව නීති හඳුන්වා දී තිබෙනවා. මෙම පියවර මඟින් මහ බැංකුවේ ස්වාධීනත්වය ඉහළ නැංවීම, විනයගරුක මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීම සහ රාජ්‍ය ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, එමඟින් වඩාත් ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරනවා.

ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ප්‍රධාන අංගයක් වන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මේ වන විට ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධනාත්මක ඇගයීමට ද ලක්ව තිබෙනවා. මෙම නීති මඟින් ආර්ථික වර්ධනයේ සහ නවීකරණයේ නව යුගයක් ආරම්භ කරනු ඇතැයි  අප අපේක්ෂා කරනවා. වේගයෙන් වර්ධනයක් අත් කර ගත හැකි ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය, ඉතා පහසුවෙන් ළඟා විය හැකි ක්ෂේත්‍රයක් බවට අප හඳුනාගෙන තිබෙනවා. මෙම අංශය දියුණු කිරීමට පමණක් නොව ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් එය නඟා සිටුවීමට ද අප කටයුතු කරමින් සිටිනවා.

IFS සමාගමේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මොෆට් මහතා,

IFS සමාගමේ හි ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස පුද්ගලිකව මා පමණක් නොව, පසුගිය අවුරුදු 25 ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සිටින IFS ප්‍රජාව උණුසුම් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ස්තුතිය පුද කිරීමට කැමතියි.
මගේ අත්දැකීම් අනුව, ශ්‍රී ලංකාව යනු ස්වීඩනයේ ආරම්භ කරන ලද IFS මගේ සමාගම සමඟ ගැඹුරු සහ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගත් රටක්. ශ්‍රී ලංකාවේ ජනතාව, ඔවුන්ගේ පොහොසත් සංස්කෘතිය සහ ප්‍රශංසනීය කාර්යයන් ආචාර ධර්ම සමඟින්, IFS සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වයට නිසැකවම දායක වී තිබෙනවා.මේ වන විට  තුන් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අප පසුගිය වසර 25 පුරා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇති අතර තවත් පුද්ගලික  ආයතන තුනක් මඟින් අපට මේ සඳහා සහාය ලැබුණා.

එම ආයතන සංවිධාන රට තුළ IFS සමාගමේ සාර්ථකත්වය ගොඩනැඟීමට සහ ඔවුන්ගේ අනෙකුත් සමාගම් සඳහා අපගේ මෙහෙයුම් පුළුල් කිරීමට ද උනන්දු වෙනවා. මේ සඳහා IFS හෝල්ඩින් සමාගම කොළඹ වරාය නගරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මෙම ව්‍යාපෘතිය මගින් අපගේ ආයෝජකයින් සතු IFS සමාගමට අයත් නොවන සමාගම් වෙත තොරතුරු තාක්ෂණ සේවා සපයනු ලබනු ඇති අතර ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව තුළ අමතර රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කිරීමට ද අපේක්ෂා කරනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශීය හා විදේශීය ආයෝජකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.