Published on: සැප්තැම්බර් 22, 2022

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ අචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ 53 වන ගුණ සමරුව හෙටයි.

ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනය නිමවන තුරු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට හැකිවන අයුරින් නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති ආචාර්ය සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතා දිවංගතවි (23) හෙටට වසර 53 ක් සපිරෙනු ඇත.

වර්ෂ 1884 ඔක්තොම්බර් 13 වෙනි දින දකුණු සිරිලක බළපිටිය රන්දොඹේ ගම්මානයේ උපත ලද කන්නන්ගර මහතා මූලික අධ්‍යාපනය රන්දොඹේ වෙස්ලි විද්‍යාලයෙන් ලබන අතර දී ලැබුණු ශිෂ්‍යත්වයක් මත ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලත්ව ඉගෙනුම ලබා ගණිතය අංශයෙන් ලංකාවේ පළමුවන සිසුවා ලෙස සමත්වි ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු රිච්මන්ඩ් විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් සේවයට පිවිස පසුව නීතිය හදාරා නීතිඥයෙකු වශයෙන් පත්ව ගාලු අධිකරණයේ සේවයට පිවිසුනි.

1917 වසරේ ද ගාලු ජාතික සංගමය නම් දේශපාලන සංවිධානය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවන්වු බද්දේගම විසු සී.එල්. වික්‍රමසිංහ මහතා ඇතුළු ගාලු ප්‍රදේශයේ ජන ප්‍රධානින් සමඟ ඇරඹු කන්නන්ගර මහතා එම සංගමයේ ලේකම් වශයෙන් පත්ව ඇත. පසුව ලංකා ජාතික සංගමයට එක්වූ කන්නන්ගර මහතා වරෙක එම සංගමයේ සභාපතිවරයාද විය.

1923 වසරේ ව්‍යවස්ථාදායක සභාවට දකුණු පලාතේ මන්ත්‍රීවරයා වශයෙන් තේරි පත්වු මෙතුමා පසුව ගාල්ලේ මන්ත්‍රීවරයා වශයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කර ඇත. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගාලු මන්ත්‍රී වරයා වශයෙන් පත් 1936 දී මතුගම ආසනයට තරඟකර ජය ලැබීය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදි ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමතිවරයාවු කන්නන්කර මහතා නිදහස් අධ්‍යාපන පනත සකසා මැති සබයට ඉදිරිපත් කර එය සම්මත කරවා ලංකාවේ සියලුම පාසල් දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් උරුම කර දීමට පියවර ගත්හ. මේ නිසා “නිදහස් අධ්‍යාපනයේ පියා” යන විරුදාවලියෙන් මෙතුමා අදද රටවැසි සියලු දෙනාම ආදරයෙන් සමරති.

1946 වසරේදි එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට මුල් වූ නායකයන් අතර මෙතුමා ද එක් අයෙකි. 1952 වසරේ කන්නන්ගර මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන්ද පත් වී ඇත. ඇමතිවරයෙකුව සිටියදි කිසි විටෙක විදේශ සංචාරවල නොයෙදුන මෙතුමා අවංක දේශපාලකයෙකු වශයෙන් රටවාසි සියලු දෙනාගේ ගෞරවයට නිබඳවම පාත්‍ර විය.

වසර 20ක පමණ කාලයක් අමාත්‍ය ධුරයන් හෙබවු මෙතුමා ජිවිතයේ අවසන් කාලය ගත කළේ නිර්ධන පන්තියේ රට වැසියෙකු ලෙසය. මේ නිසා මසකට රුපියල් 500ක මුදලක් ගෙවීමට රජය තීරණය කළේ 1965 වසරේ සිටය. වසර 83ක් පමණ ජීවත් වූ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා 1969 සැප්තැම්බර් 23 වෙනිදින දැයෙන් සමුගත්තේ මීට වසර 53 කට පෙර අද වැනි දිනකය. මෙරට වෙසෙන කෘතගුණ දන් ජනතාව එතුමාගේ ශ්‍රී නාමය අද දින ඉමහත් ගෞරවයෙන් සමරනු ලබයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.