Published on: සැප්තැම්බර් 23, 2024

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කෙරේ

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානායක මහතා ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන ඇත.

ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ආචාර්ය කුමනායක මහතා රේගු දූෂණ (Customs Corruptions) පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු ලෝක රේගු සංවිධානය (World Customs Organization) මගින් පිලිගත් රේගු නවීකරණ පිළිබඳ වරලත් උපදේශකවරයෙකි.

ඔහු රේගුව තුළ සුපිළිපන්නතාවය වර්ධනය කිරීම පිළිබඳව විශේෂඥයෙකි.

ආචාර්ය කුමානායක මහතා ලෝක රේගු සංවිධානයේ දූත මණ්ඩල නියෝජනය කරමින් වෙනත් රටවල රේගු සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් වලටද දායක වී ඇත.

1997 වසරේ රේගු නිලධාරියෙකු ලෙස සේවයට බැඳුනු කුමානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන ලදී.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.