Published on: ජූලි 24, 2022

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ අවධාරණය කරති …

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති.
විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය භාරගෙන තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු අභියෝග ජය ගැනීමට එතුමාට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (24) පස්වරුවේ සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධීන් වහන්සේ සහ බුද්ධ මන්දිරය වැද පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූ අතර විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව ජනාධිපතිතුමා මහා සංඝරත්නය බැහැ දැක උන්වහන්සේලාගේ සුව දුක් විමසීය.
විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.
ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් වන සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානය හෙලෙනා විජේවර්ධන මහත්මිය සහ දොන් පිලීප් විජේවර්ධන මහතා සඝ සතු කොට පූජා කරන ලද පිංබිමකි.
බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පා.ම. සුරේන් රාඝවන් යන මහත්වරු සහ දායක සභාවේ සභාපති අමරි මන්දිකා විජේවර්ධන, ලේකම් චන්න වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-07-24

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.