Published on: මාර්තු 27, 2024

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් ජනතා අයිතියට

අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකියි.

  • මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති පවසයි.

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.

නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මෙම නව මාතෘ රෝහල ලබා දීම සඳහා ඉදිරිපත් විය.

රෝහල ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)
මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ථ භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

ජර්මානු රජයෙන් ලැබුණු මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
එම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

එදා අපගේ වෛද්‍යවරුන්ට සිදු වුණේ මැලේරියාවට එරෙහිව සටන් කිරීමටයි. නමුත් දැන් වැඩිහිටි ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යාම සහ විවිධ රෝග ඇතිවීම නිසා සේඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වැඩි වී තිබෙනවා. ඒ නිසා ඊට අනුරූපිව සෞඛ්‍ය සේවාවද පරිවර්තනය විය යුතුයි.

ඒ වගේම මෙරට අධ්‍යාපන ක්‍රමයද පරිවර්තනයකට ලක් විය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා මෙතෙක් වැය කෙරුණු ප්‍රාග්ධන මුදල් සීමා සහිත වුණා. එදා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යෙදවුණේ නැහැ. ඊට හේතුව යුද්ධයට විශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමයි.

දෙවනුව අප ලබාගත් විශාල ණය ප්‍රමාණය නිසා එම පොළි ගෙවීමට වැඩි මුදලක් යෙදවීමට සිදුව තිබෙනවා. 1980 – 1989 මම අධ්‍යාපනය අමාත්‍යවරයා ලෙස කටයුත් කරන සමයේ අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කළා. නමුත් පසුව විවිධ හේතු නිසා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අප ඉදිරියේ දී මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

පසුගිය සමයේ අපට විශාල ලෙස ණය ගැනීමට සිදුවීම නිසා අපේ ආදායමෙන් 50%ක් වැය වන්නේ ණය සහ පොළී ගෙවීමටයි. මෙම වසරේ අයවැයෙන් ට්‍රිලියන 07කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට නියමිතව තිබුණා. නමුත් එයින් ට්‍රිලියන 3.9ක් ණය ගෙවීමට වැය කිරීමට සිදුව තිබෙනවා. එයින් තුනෙන් එකක් ණය ආපසු ගෙවීමට සහ තුනෙන් දෙකක් පොළිය ගෙවිමට වැය කෙරෙනවා. ඒ වගේම තවත් ට්‍රිලියන 1.2ක් වැටුප් ගෙවීමට වැය වෙනවා. තවද පුනරාවර්තනය වියදම් වෙන් කළ පසු ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයිනුත් වාරිමාර්ග ඇතුළු එම කටයුතුවලටත් මුදල් වෙන් කළ යුතුයි.

මෙම තත්ත්වය සමග අපට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියනු සංවර්ධන බැංකුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වන ලෙස අපට දැනුම් දී තිබෙන්නේ එම නිසයි. රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමේ දී පළමු තීරණය වූයේ මේ වසරේ වියදමට අවශ්‍ය මුදල් රට තුළින් උපයා ගැනීමයි. අපට කෙසේවත් දැන් මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට බැහැ. අපට අවශ්‍ය ආදායම් රට තුළින්ම උපයාගෙන ඉදිරියට යාමට සිදුව තිබෙනවා.

එහිදී තිබූ එකම මාර්ගය වූණේ බදු වැඩි කිරීමයි. සියලුදෙනා අපට දොස් කිව්වා. නමුත් මෙම පියවර නිසා පළමු වතාවට අයවැය සඳහා මුදල් මුද්‍රණය කිරීමට අපට සිදු වුණේ නැහැ. මෙහිදී සියලුදෙනා මුහුණදුන් අසීරුතාව පිළිබඳ අපට අවබෝධයෙක් තිබෙනවා. නමුත් බදු මුදල් වැඩි කිරීම නිසා අද අපට අය වැය සඳහා ණය ලබා ගැනීමට සිදුවුණේ නැහැ. එහි ප්‍රතිඵල අද රට තුළ දක්නට තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 370ට තිබු රුපියලේ අගය දැන් 300ට පහළ බැස තිබෙනවා. ඉදිරියේදී තවත් එය පහළ අගයකට එනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා.

ඒ වගේම උද්ධමනය අඩුවීම නිසා පොලි අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එවිට ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර දියුණුවීමත් සමඟ රට දියුණු වෙනවා. අසීරුවෙන් වුවත් ගත් පියවර නිසා අද රටට ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන් අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කටයුතු කළා. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සමග තව වසර 02ක් පමණ ඉදිරියට යන විට අපට ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට හැකියාව ලැබෙනවා.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නවීකරණයක් නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකියි. 30 දශකයේ අප දියුණුවක් ලැබුයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබු දියුණුව නිසයි. ඒ වගේම 80 දශකයේ අප ඉදිරියට ගියේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිසයි. අද ලංකාව තුළ පමණක් නොවෙයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමය ද ක්‍රියාත්මක වන්නේ අපේ වෛද්‍ය සේවාවන් නිසා. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශය වෙනුවෙන් අවශ්‍ය මුදල් අපම උපයා ගනිමින් එම ක්ෂේත්‍රවල සීග්‍ර සංවර්ධනයක් ඇති කරමු කියා මම ප්‍රකාශ කරනවා.

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

අති නවීන අංග සම්පූර්ණ මාතෘ රෝහලක් ලබාදීම සම්බන්ධයෙන් ජර්මන් හිටපු චාන්සලර් හෙල්මට් කෝල් මහතාට ස්තූතිවන්ත වෙනවා. මා 2010 වසරේ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණෙන විට සිහින දෙකක් තිබුණා.

සුනාමියෙන් විපතටමත් ගාල්ල බස් නැවතුම්පොල නැවත සකස් කිරීම සහ එවකට වැඩ නැවතී තිබූ ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ඉදිකර ගැනීම එම සිහින දෙකයි. 2010 වසරේදී ගාල්ල බස් නැවතුම්පොළ ඉදිකර ගැනීමට හැකි වුණා . ඒ වකවානුව වන විට මෙම රෝහලේ අත්තිවාරම් කණු 26ක් පමණක් ඉදිකර තිබුණා. මෙම රෝහල ඉදිකර ගැනීම සඳහා පැවති රජය සහාය ලබා දුන්නා. අද වන විට මෙම රෝහලේ ඉදිකිරීම් සාර්ථක නිම කර ජනතාවට ලබාදීමට හැකි වී තිබෙනවා.

2024 අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ මුදලින් කරාපිටිය රෝහල සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වෙන් කර තිබෙනවා. ශල්‍ය ඒකකය, දන්ත ඒකකය, මහාචාර්ය ඒකකය සහ ආඝාත ඒකකය සඳහා රුපියල් කෝටි100ක් හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි සීයක මුදලක් වෙන් කර තිබෙනවා. කරාපිටිය රෝහල තාක්ෂණයෙන් සහ ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික රෝහලට පමණයි. අද එකතු වන මාතෘ රෝහල සමඟ කරාපිටිය රෝහලේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට හැකියාව ලැබෙනවා.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්‍රි මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර දෙකකට පමණ පෙර රට බාරගත් දිනය සහ අද දිනය දෙස බැලූ විට විශාල වෙනසක් රට තුළ සිදුව තිබෙනවා. එතුමාගේ තිබෙන විදේශ සබඳතා ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට මහත් රුකුලක් වුණා. එහි එක් උදාහරණයක් පෙන්වා දෙනවා නම් ඉරානයට අප තිබූ ණය ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සිට ගෙවීම ආරම්භ කර අද වන විට එම ණය ගෙවා අවසන් කර ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය රැදවීමට කටයුතු කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා,

නිදහස් සේඛ්‍ය සේවාවක් ලැබෙන ශ්‍රී ලංකාවේ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයු අපේක්ෂාව වර්ධනය වී තිබෙනවා. ඒ අනුව කාන්තාවකගේ ආයු අපේක්ෂාව සියයට අසූවක් වන අතර පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව 76ක් වෙනවා. රෝග ගණනාවක් මැඩලීමට අපේ සෞඛ්‍ය සේවාවන්ට මේ වන විටත් හැකි වී තිබෙනවා. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබෙනවා. ඒ වගේම විශිෂ්ට ශල්‍යකර්ම සිදු කිරීමේ හැකියාව ඇති වෛද්‍යවරුන් පිරිසක් අපගේ සෞඛ්‍ය සේවයේ සිටිනවා. එය මෙරට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවයයේ එක් ලක්ෂණයක්. මේ සියලු සේවාවන් මගින් ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය මට්ටම උසස් කිරීමට හැකියාව ලැබෙන බව කිවයුතුයි.

ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා,

මෙම රෝහල නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබෙන අතර ගාල්ලේ සහ දකුණු පළාතේ ජනතාවගේ පූර්ණ ප්‍රයෝජනය සඳහා මෙම රෝහල පවත්වාගෙන යාමේ වගකීම දැන් ශ්‍රී ලංකා රජය සතු වෙනවා.

මෙම රෝහල විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම පිළිබඳ ජර්මන් රජය විශේෂයෙන් සතුටට පත් වෙනවා. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාට සහ එම අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන්ට මම මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමතියි. මෙම රෝහල සාර්ථකව ක්‍රියාත්මක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා වගේම ඒ වෙනුවෙන් මෙහි සිටින කාර්ය මණ්ඩලයේ සියලුදෙනාටම මම සුබ පතනවා. ජර්මනිය සැමදා ශ්‍රී ලංකාවේ මිතුරෙක්. ඉදිරියටත් එම මිත්‍රත්වය අඛණ්ඩව පවතිනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළ, හිටපු කතානායක කරු ජයසූරිය, හෙල්මුට් කෝල් ගාල්ල මාතෘ රෝහල් පදනමේ වැඩ බලන සභාපති ජගන් වර්ත් ( Jurgen Weerth) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.