Published on: සැප්තැම්බර් 19, 2023

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක් වෙයි

  • “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” වට මේස සාකච්ඡාවට ද ජනපති සහභාගි වෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගත යුතු නව පියවරයන් පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්‍රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) සහභාගී විය.

මෙම වට මේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිය හ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.