Published on: ජනවාරි 19, 2024

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර තිබෙනවා

  • යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතුයි.
  • වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි.
  • ප්‍රධාන බලවතුන්ගේ තරගය වෙළෙද හා ආර්ථික ඒකාබද්ධතාව පසුපසට ගමන් කරවමින් තිබෙනවා.
  • නොබැඳි ජාතීන් තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ – ජනපති නොබැදි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතමින් අවධාරණය කරයි.

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමිනි.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය අද සහ හෙට (20) යන දෙදින පැවැත්වෙයි.

සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවයි.

එම පරිවර්තනයේදී, මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතා සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය,

නොබැඳි ජාතීන්ගේ 19 වන සමුළුවේදී, එම සංවිධානයේ නායකත්වය භාර ගැනීම පිළිබඳව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි මැතිතුමාට සුබ පතමින් මම මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි.

ගෝලීය දකුණේ රටවල් අතර සාමූහික දැනුවත්භාවයක් පැවතිය යුතු මෙවැනි තීරණාත්මක අවස්ථාවක උගන්ඩාව මෙම භූමිකාව භාර ගැනීම වඩා කාලෝචිත බව කිවයුතුයි.

වසංගතයේ ආරම්භය, ණය අර්බුදය, දේශගුණික ව්‍යසන, නව ගෝලීය තරගකාරිත්වය සහ ලෝකයට, විශේෂයෙන් ගෝලීය දකුණට ඉන් අනතුරුව ඇති වූ විවිධාකර බලපෑම්වලින් පසුව පැවැත්වෙන පළමු නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙයයි.

ජනාධිපතිතුමනි, අද අප මෙහි හමුවන අවස්ථාව වන විට ගාසා තීරයේ සහ ඉන් ඔබ්බෙහි මානුෂීය අර්බුදයක් දිග හැරෙමින් තිබෙනවා.

මාස තුනකට අධික කාලයක් පුරා පලස්තීනයේ සිවිල් වැසියන් දැඩි දුක් වේදනා හා අහිමිවීම් වලට ලක්ව ඇති අතර එමගින් කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය ද අනතුරේ හෙළා තිබෙනවා.

මේ දක්වාම නොබැඳි ජාතීන්ගේ සංවිධානය බොහෝ දුරට නිහඬව සිටියා. ගාසා තීරය විනාශ වන විට අප මෙසේ නිහඬව සිටින්නේ කෙසේද?

එම ජනතාවට මානුෂීය ආධාර ලබා නොදුන්නා වගේම මියගිය අය අතර බහුතරයක් අහිංසක සිවිල් වැසියන් වෙනවා. නිශ්ශබ්දතාවයෙන් එකඟතාව ප්‍රකාශ වෙනවා.

උගන්ඩාවේ නායකත්වය යටතේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මෙම 19 වන සමුළුව මගින් ගාසා තීරයේ මෙම අර්බුදය පිළිබඳ මෙන්ම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දී තිබීම අගය කළ යුතුයි.

ගාසා තීරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ගෙන ඇති නිර්භීත ස්ථාවරයට අපි සුබ පැතිය යුතුයි. වහාම මානුෂීය සටන් විරාමයක් ඇතිකරන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ඉල්ලා තිබෙනවා.

ඊශ්‍රායලය නැමති තනි රාජ්‍යයක් මත ද්විත්ව රාජ්‍ය විසඳුමක් පැවතිය නොහැකියි. පලස්තීන රාජ්‍යයක් නොමැතිව කිසිදු විසඳුමක් ද ලබාගත නොහැකියි.

එබැවින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවතින විවිධ යෝජනා මෙන්ම මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුව, ජාත්‍යන්තර ප්‍රජාව විසින් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ලෙස පිළිගත යුතුයි. එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතුයි. ඒවගේම වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටිනවා.

ජනාධිපතිතුමනි, අප දැන් සීතල යුද්ධයෙන් පසු පැවැති තත්ත්වයේ අවසානය සහ විකාශනය වෙමින් පවතින බහු ධ්‍රැවීය ලෝකයේ ආගමනය ද අත්දකිමින් සිටිනවා.

භූ දේශපාලනික පෙරමුණ තුළ, පැරණි බලවතුන් සහ බලවතුන් බවට පත්වීමට අපේක්ෂිත පාර්ශ්ව අතර පැවති සැඟවුණු සහ විවෘත ගැටුම් නැවත මතුවීම ද අප අත්දකිමින් සිටිනවා.

යුරෝපයේ අත්ලාන්තික් සාගරයේ හමුදා සන්ධානය ශක්තිමත් වී තිබෙනවා. ආයුධ පාලනයට අදාළ අතීත ගිවිසුම් බිඳ වැටී තිබෙනවා.

හමුදා සඳහා කෙරෙන වියදම් ඉතිහාසය පුරා පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී ඇති අතර න්‍යෂ්ටික අවි සම්බන්ධව යළිත් වරක් ප්‍රභල වශයෙන් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක් විය යුතුව තිබෙනවා.

ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අපගේ අවට ප්‍රදේශ ඇතුළු කළාපයේ භූ-උපායමාර්ගික තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර අභ්‍යවකාශය සහ සාගර, ගැටුම් ඇති විය හැකි වේදිකා බවට පත් වී තිබෙනවා.

ප්‍රධාන බලවතුන් අතර පවතින උපායමාර්ගික තරගකාරීත්වය හේතුවෙන් ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළඳ ආරක්ෂණවාදයේ නැගීම නිසා නිදහස් වෙළඳ හා ආර්ථික ඒකාබද්ධතාවය පසුපසට ගමන් කරවමින් තිබෙනවා.

එමෙන්ම වියුගලනය සහ අවදානම අවම කිරීම යන සංකල්පයන් මගින් මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත කර තිබෙනවා.

නව වෙළඳ ක්‍රමයක් පිළිබඳ ඒකපාර්ශ්වික ප්‍රකාශයක් සහ බටහිර ජාතීන් විසින් ලෝක වෙළඳ සංවිධානයේ බහුපාර්ශ්විකත්වය පසෙක දමා තිබෙනවා.

ඩොලරය ආයුධයක් බවට පත් කර තිබෙනවා. ආර්ථික හා ණය අර්බුදය, දේශගුණ යුක්තිය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවය නව අභියෝග බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි ගබඩාවන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ සිටින සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ සංවර්ධිත ලෝකය අතර පවත්නා අසමානතා උග්‍ර කර තිබෙනවා.

මෙම සමුළුවේ තේමාව බවට පත්ව ඇති ” හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” අපගේ ලෝකයන් දෙක අතර පවතින අසමානතාවයන් විසඳීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරනවා.

එය සාර්ථක කර ගැනීමට නම්, සියල්ලන්ටම යහපත් ලෝකයක් සඳහා දායක වන ශක්තිමත් සහ එක්සත් නොබැඳි සංවිධානයක් අවශ්‍ය බව අපට අත්දැකීම් මගින් පෙන්වා දෙනවා.

එසේ කිරීමට නම් අප අපවම ප්‍රතිනිර්මාණය කර ගත යුතුයි. නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ.එය එසේ සිදුව තිබෙන්නේ, ඇතැම් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල අත්කරගෙන සිටින වේගවත් ප්‍රගතිය හා ආර්ථික දියුණුව නිසා බව අප හඳුනාගත යුතුයි.

2050 වසර වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික දහය අතුරින් බහුතරයක් මෙම සංවිධානයට අයත් වනු ඇතියි. ගෝලීය කටයුතුවලදී නායකත්වය ගත හැකි රටවල් අප අතරින් මතුවෙමින් පවතින බව ද දක්නට ලැබෙනවා. ඔවුන් නායකත්වය ලබා දීමට සූදානම් විය යුතුයි.

එමෙන්ම, මහා බලවතා වීම සඳහා පැරණි සහ නව ප්‍රධාන බලවතුන් අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා යුධමය වශයෙන් භූ-උපායමාර්ගික තරගකාරී තත්ත්වයන් මතු වන විට අප විසින් ඉටු කළ යුතු අත්‍යාවශ්‍ය කාර්යභාරයක් තිබෙනවා.

ජනාධිපතිතුමනි, එබැවින් නොබැඳි ජාතීන්ගේ සංවිධානය ඔබගේ සභාපතිත්වය යටතේ ප්‍රතිනිර්මාණය කළ යුතුයි.
එසේම, බහු ධ්‍රැවීය ලෝකයක් තුළ ගෝලීය දකුණ නියෝජනය කරන විශාලතම රටවල් සමූහය ලෙස පරිවර්තනය වීම සඳහා නව භූමිකාවක් ඔබ භාරගත යුතුයි.

ඒ සඳහා අප අපගේ අරමුණු ද නැවත සකස් කළ යුතුයි. විකාශනය වන බහු ධ්‍රැව ලෝකය තුළ බැන්ඩුන්ග් මූලධර්ම ආරක්ෂා කරන අතරම මහා බල එදිරිවාදීකම් වලට මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීම සඳහා සිදු කරන බලපෑම්වලට විරුද්ධ වීම, ගෝලීය දකුණේ රටවල දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් ඇතුළත් බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය ගෝලීය දකුණේ රටවල සහ එහි මිත්‍ර රාජ්‍යයනගේ ක්‍රියාශීලී කඳවුරක් බවට පත්කර ගැනීමට අප අපවම පරිවර්තනය කරගනිමු.

එමෙන්ම ගෝලීය දකුණ මුහුණ දෙන සමකාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා සන්නද්ධ වූ ඵලදායී ස්ථිර මෙහෙයුම් ව්‍යුහයක් ස්ථාපිත කරගනීමට අප කටයුතු කරමු කියා මා යෝජනා කරනවා.

එසේම අප මෙම නව පිළිවෙල හැඩගස්වා ගැනීමේ හැකියාවක් ඇති සංවිධානයක් බවට පත් වෙමු.

ජනාධිපතිතුමනි, අපගේ අනාගතය රැඳී තිබෙන්නේ අපගේ දෑත් මතයි. අපට එය සිදු කිරීමට හෝ, විනාශ කිරීමට හැකියාව තිබෙනවා. අපි එය සිදු කරමු.

නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය සාර්ථකව පැවැත්වීමට ඉතා උසස් අයුරින් එම කටයුතු සංවිධානය කළ උගන්ඩාවේ ජනාධිපතිතුමා ඇතුළු රජයට මාගේ ස්තුතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.