Published on: දෙසැම්බර් 16, 2022

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ පළමු රැස්වීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් කොමිසමේ සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අනුව ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක් පත් කළ බවත්, ඒ යටතේ අනු කමිටු 2ක් ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

එහි එක් කමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ඒ යටතේ මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවක් පත් කර තිබෙන අතර පසුගිය දෙසැම්බර් මස 01දා පාර්ලිමේන්තුවේදී පැවති එහි පළමු රැස්වීමේ දී “ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය කිරීම වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව” පත් කර ගැණිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන 2023 වසරේ සිට ඉදිරි වසර 25ට සරිලන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වගකීම මෙම කමිටුවට පැවරී තිබේ.

ඒ අනුව නව ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා වූ සිය අදහස් සහ යෝජනා මෙම දෙසැම්බර් 20වන දිනට පෙර ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන ලෙස කමිටුවට උපදෙස් දුන් ජනාධිපති ලේකම්වරයා එහිදී මීට පෙර මෙරට ක්‍රියාත්මක වූ ජාතික ප්‍රතිපත්තිද සැලකිල්ලට ගැනීමේ වැදගත්කම පැහැදිළි කළේය.

නව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත 2022.12.27 වන දින වන විට කෙටුම්පත් කර කමිටු සාමාජිකයින්ගේ සාකච්ඡාවට එය නැවත බඳුන් කරන බවත්, අවසන් වාර්තාව නීති කෙටුම්පත් කිරීම සඳහා 2023.01.15 දින වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.