Published on: මැයි 6, 2024

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා BMICH හිදී පැවැත්වෙනවා

  • තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් – කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 1300 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට අන්තර්ගත වනවා. නවෝත්පාදන, නව තාක්ෂණය සමඟින් නව කර්මාන්ත රැසක අංගයන් මෙම ප්‍රදර්ශනයේදී දැක හැකි වන බව ද පැවසිය යුතුයි. නවෝත්පාදන සඳහා වෙනම පරිශ්‍රයක්ද එහි ඇතුළත් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ තානාපති කාර්යාල, වානිජ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් විදේශීය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී BMICH පරිශ්‍රය දක්වා ගමන් කිරීමට ද නියමිතයි.

එමෙන්ම මෙම ප්‍රදර්ශනයට සමගාමීව ජුනි 20 සහ 21 දෙදින පුරා BMICH හිදී තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව ලෙසින් (Green Industry Initiative for Sustainable Industrial Development) තිරසාර හරිත කර්මාන්ත උදෙසා Industry Green Awards සම්මාන උළෙල පැවැත්වීමට ද නියමිතයි.

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) මඟින් ක්‍රියාත්මක කරන පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව, IDB Digital One Stop, Ceylon Plaza, Industry ණය යෝජනා ක්‍රමය, SEDA Startup, SEDA Scaleup, ඇතුළු බොහෝ වැඩසටහන් රැසක් ප්‍රදර්ශන දින 05 පුරාවටම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ වගේම මෙම ප්‍රදර්ශනය සඳහා අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් හා සහභාගිත්වය සිදුවෙන බව ද සිහිපත් කළ යුතුයි. කර්මාන්ත පිළිබඳව ලෝකයේ යාවත්කාලීන වූ නව දැනුම, නව ව්‍යාපාරික අවස්ථා, නව ආයෝජකයන් සහ ආයෝජන අවස්ථා හඳුනාගනිමින් නිෂ්පාදන කර්මාන්තයන් ආරම්භ කිරීමට ද මෙය රුකුලක් වනු ඇතියි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.