Published on: ජූනි 4, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදය අවසන් කර රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි

  • ගංවතුර හේතුවෙන් අබලන් වූ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්.

ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතක ගෙන යා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව තමන් විශ්වාස කරන බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසීය.

අයහපත් කාලගුණය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් රුපියල් බිලියන 12ක පමණ ප්‍රතිපාදන යොදවා තිබෙනවා. එමඟින් ග්‍රාමීය මාර්ග සහ පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. අප අමාත්‍යාංශය හරහා ඉන් 65%ක පමණ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එහි ඉතිරි කොටස ඉදිරි දිනවලදී අවසන් කර එහි ප්‍රතිලාභ ගමට ගෙන ඒමට කටයුතු කරනවා.

පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව තිබුණා. එහිදී ග්‍රාමීය ප්‍රදේශවල රැකියා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කම්කරුවන් ද ගැටලුවලට මුහුණ දුන්නා. නමුත් මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ආර්ථිකය ස්ථාවරත්වයකට පත්ව ජනතාවගේ ආදායම ඉහළ ගොස් තිබෙන නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ග්‍රාමීය ආර්ථිකය දියුණු වන බව අපට විශ්වාසයි.

ඒ වගේම මේ වන විට තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඉන් ග්‍රාමීය මාර්ගවලට හානි සිදු වී තිබෙනවා. මේ අකාරයෙන් ගංවතුර හේතුවෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

තවද ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කළ ඇතැම් ව්‍යාපෘති ආර්ථික අර්බුදය හේතුවෙන් අතහැර දැමුණා. එම සංවර්ධන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමෙන් පසු අධික අනතුරු සහිත මාර්ග සහ පාලම්වල වැඩකටයුතු ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා.

රටේ වර්තමාන තත්ත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබෙනවා. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි. එමෙන්ම ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතකට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසිය යුතුයි. ඒ නිසා ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරනු ඇති බව අපට විශ්වාසයි.

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සුළුතර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ද පියවර රැසක් ගනිමින් සිටිනවා. එමෙන්ම ව්‍යවස්ථාවෙන් සම්මත කර තිබෙන පළාත් සභා ක්‍රමය ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ජනාධිපතිවරයා පැවසුවා. ඒ අනුව එම කටයුතු ද ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබෙන බව මට විශ්වාසයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.