Published on: සැප්තැම්බර් 21, 2023

ජනපති සහ මැලේසියා අගමැති හමුවක්

  • කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සහයවීමට මැලේසියාව සූදානම්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියානු සමාගම් උනන්දු කරවන බව පැවසූ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා මැලේසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනිමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව ද ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය.

එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කර තිබෙන ඉල්ලීමට සහය දැක්වීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එකඟ විය.

ලබන මාසයේ දී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) කලාපීය සමුළුව සඳහා මැලේසියා විදේශ අමාත්‍යවරයා සහභාගී කරවන බවද අග්‍රාමාත්‍ය අන්වර් බින් ඊබ්‍රහීම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මැලේසියාවේ සංචාරයක නිරතවන ලෙස මැලේසියාවේ රජතුමා විසින් කළ ආරාධනය ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේය. එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ මැලේසියාවේ සංචාරය සඳහා පැමිණෙන බව ද තහවුරු කර සිටියේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් යන මහත්ම මහත්මීන් ඇතුළු මැලේසියානු රජයේ දූත මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.