Published on: සැප්තැම්බර් 21, 2023

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය අතර පවතින සහයෝගීතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ දේශගුණික මූල්‍යකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව තිබෙන අනෙකුත් අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම කරුණු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළෙහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ඩයස්පෝරා ප්‍රජාව සමඟ මල්බොරෝ හවුස් සංවාදයේ (Malborough House Dailogue) ප්‍රගතිය පිළිබඳව ද මහලේකම්වරිය මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළාය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.