Published on: සැප්තැම්බර් 29, 2022

ජනපති සහ පිලිපීන ජනපති හමු වෙයි

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos Jr. ) මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.