Published on: ඔක්තෝබර් 17, 2023

ජනපති සහ පාකිස්ථාන අගමැති හමු වෙයි

“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර නිල හමුව අද (17) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්විණි.

ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කළහ.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද නායකයන් අදහස් හුවමාරු කර ගත් අතර ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (Shamshad Akhtar) මහත්මිය ඇතුළු එරට දූත පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.