Published on: පෙබරවාරි 29, 2024

ජනපති විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ තොරතුරු විමසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද (29) පෙරවරුවේ එක් විය.

“අස්වැසුම” වැඩසටහන පිළිබඳව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්වීමට යන අතරතුර පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සිටි සිසු දරුවන් දුටු ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.

එහි සිටි ගුරුවරුන් සමඟ ද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පාසලේ අඩුපාඩු පිළිබඳව ද විමසා බැලීමට කටයුතු කළේය.

එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව සොයා බලන බවට සිසු දරුවන්ට පොරොන්දු වූ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශීර්වාදය පිරිනැමීය.

මේ අතර ඒ අසල රැස්ව සිටි දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිවරයා අමතක නොකළ අතර රාජකාරි බහුල වුවද දරුවන් මඟහැර නොගොස් ඔවුන්ගේ තොරතුරු විමසීමට පැමිණීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.