Published on: ඔක්තෝබර් 5, 2024

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය.

තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසත් මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කිරීමේදී ද ඊට ගැළපෙන පිරිස් පත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට මහා සංඝරත්නයේ ආශීර්වාදය ජනාධිපතිවරයා වෙත හිමි වන බව ද අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.