Published on: අගෝස්තු 30, 2023

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

  • අසීරු කාලපරිච්ඡේදයක රට වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන ජනපතිට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතුයි – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ.
  • ආගමික සිද්ධස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන සුරක්ෂිත කිරීමට රජය කැපවී සිටිනවා.
  • උතුරු සහ නැගෙනහිර ආගමික ගැටලු සොයා බැලීමට ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු – ජනපති.

අසීරු කාල පරිච්ඡේදයක රටත්, ජනතාවත් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා දරණ උත්සාහය පිළිබඳ ඇතැමුන්ට වැටහීමක් නොතිබීම කණගාටුවට කරුණක් බවත්, ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට මහාසංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමිවන බවත් උන්වහන්සේ පැවසූහ.

ඊයේ (29) පස්වරුවේ ඓතිහාසික මහනුවර ප්‍රදේශයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

මේ අතර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක සුව දුක් විමසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ දී කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු රටේ ආර්ථිකය නඟා සිටුවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබදව ද උන්වහන්සේ දැනුවත් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ මෙසේ ද පැවසූහ,

ඔබතුමා අද මෙහි පැමිණීම පිළිබඳව අප සතුටට පත් වෙනවා. මෙම කාලපරිච්ඡේදය තුළ රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. මෙම රට වැටී තිබූ තැන පිළිබඳව ඇතැමුන්ට අවබෝධයක් නැහැ. ඒ වගේම වැටුණු රට යළි ගොඩනැඟීමට ඔබතුමා දරණ උත්සාහය පිළිබඳ ඔවුන්ට නිසි වැටහීමක් නැහැ. ඒ නිසා යම් යම් දේවල් ප්‍රකාශ කරනවා.

මේ රට වැටී තිබු අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් තරමක් දුරට හෝ ගොඩගැනීමට ඔබතුමා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් කටයුතු කළා. එහිදී ඔබතුමාගේ පෞද්ගලික දේපළ පවා අහිමිකර ගැනීමට සිදු වුණා. ගෙවල් දොරවල් පවා අහිමි වුණා.

ඒ වගේම වර්තමානයේ රට තුළ මතුව ඇති ගැටලුවලට ද විසඳුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා. ඒ සඳහා ඔබතුමාට දෙවි දේවතාවුන්ගේ පිහිට හා දළදා හිමියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා අප එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම කුරුන්දි විහාරය අවට ජනතාව මෙතෙක් කාලයක් එකමුතුව කටයුතු කළා. නමුත් මෑතකදී පිටතින් කණ්ඩායමක් පැමිණ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ පිළිබඳව ද අවධානය යොමු විය යුතුයි.‍

තවත් ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී උන්වහන්සේ සිදු කළ විමසීමේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ කතා කරන විට දැන් අප රටක් ලෙස බංකොළොත්භාවයෙන් ඉවත් වෙමින් පවතිනවා. විදේශ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සමඟ මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ද ප්‍රතිසංස්කරණ වැඩසටන් රැසක් ආරම්භ කර තිබෙනවා.

අද දේශිය බැංකු අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. ඒ නිසා එම බැංකුවලින් මුදල් ලබාගන්න අපහසුතාවයක් තිබෙනවා. දේශිය බැංකු සියල්ලම වගේ ණය වී සිටිනවා.

බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටමයි. දෙවනුව අර්ථසාධක අරමුදලෙන් මහ බැංකුව බිල්පත් ලබාගෙන තිබෙනවා. එය දිගුකාලීන බැඳුම්කර බවට පත් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. එහිදී ලබාදෙන පොලිය පිළිබඳ පොඩි වෙනසක් ඇති වෙනවා. නමුත් එයින් තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් සිදු වන්නේ නැහැ. අර්ථ සාධක අරමුදලේ තැන්පත්කරුවන්ට සියයට 9ක පොලියක් ලබාදෙන බවට පසුගිය වසරේදී එකඟ වුණා. ඒ වගේම එම අවම පොළිය නීතියක් ලෙස සම්ම්ත කර දීමට මම පොරොන්දු වුණා.

එසේම නව මහ බැංකු පනතක් ගෙන ඒමට අප කටයුතු කරනවා. ඉන් අනතුරුව අපට ණය ලබා දුන් අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු පුද්ගලික ණය පිළිබඳ සාකච්ඡා කරනවා. එහිදී ණය ගෙවීමට දිගුකාලීනව අවස්ථාව ලබා ගැනීමට හෝ නැතිනම් ණයෙන් කොටසක් අඩු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම සැප්තැම්බර් මාසය අවසන් වන විට හෝ ඔක්තොබර් මුල් සතිය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම කටයුතුවලදී අප බංකොළොත්භාවයෙන් නිදහස් බව නිවේදනය වීමෙන් පසුව අපට නැවත පහසුවෙන් ආර්ථික ගනුදෙනු කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන ආනයනයට වඩා අඩුයි. ඒ නිසා රට තුළ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ඇති කළයුතුයි. කලාපය තුළ තරගකාරිත්වයක් ඇති කරීම තුළින් ආර්ථික වාසි අත් කර ගැනීමේ අවස්ථාව පවතිනවා. ඉන්පසුව ණය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරනවා.

1948 දී අපට කලාපයේ තිබු තැන අද අපට අහිමි වී තිබෙනවා. ඒ නිසා අනාගතය දෙස බලා ඊට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කළයුතුයි. මෙය ක්‍රමාණුකූලව කරගෙන යා යුතුයි. මට ලබාදිය හැක්කේ එහි ආරම්භය පමණයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙරට තරුණ පරපුර සූදානම් විය යුතුයි.

එම නායකත්වය අප විසින් ගොඩනැඟිය යුතුව තිබෙනවා. නව දැක්මක් ඇති මෙන්ම තාක්ෂණය සමඟ ඉදිරියට යන පරපුරක් මේ සඳහා අවශ්‍යයි. දැන් කෘතිම බුද්ධිය පිළිබඳ ලෝකයම කතා කරනවා. එය බුද්ධ ධර්මයේ ද සඳහන් වෙනවා. ථෙරවාද බෞද්ධ රටවල් අතරින් තවම කිසිඳු රටක් ඉදිරියට පැමිණ නැහැ. ශ්‍රී ලංකාව සමඟ බැලීමේ දී තායිලන්තය ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකාව හා තායිලන්තය ඉදිරියට පැමිණිය යුතුයි. තායිලන්තය සමඟ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ අනුව පළමු වතාවට ථෙරවාද බෞද්ධ රටවල් දෙකක් ආර්ථික වශයෙන් එකතු වීම සිදු වෙනවා. එම ගිවිසුමට ලබන වසරේ පෙබරවාරි මාසයේ දී අත්සන් තැබීමට මම තායිලන්ත රජයට ආරාධනා කළා. එම ගිවිසුමට ඓතිහාසික මහනුවරදී අත්සන් තැබීමට ඇති හැකියාව පිළිබඳ මම මහානායක හිමිවරුන්ගෙන් විමසා සිටියා. එදා සියමෙන් පැමිණ එම කටයුතු සිදු කළේ එම ස්ථානයේ දි. මෙම කටයුත්තත් ඉදිරියට ගෙන යාමට එය හොඳ ආරම්භයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එයින් හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 7ක් හෝ 8ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාරකින් වී මෙක්ට්‍රික් ටොන් 10ක් නිපදවනවා. අපේ රටෙත් හම්බන්තොට වැනි ප්‍රදේශවල වී මෙක්ට්‍රික් ටොන් 11ක අස්වැන්නක් ලබා ගන්නවා.

ඒ වගේම බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අප මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරන බව කිවයුතුයි. බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව එකඟ වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වුණා. පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස් දී තිබෙනවා.

ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදුවන කැනීම් කටයුතුවල ද වාර්තා ලබා ගනිමින් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

පැවති රජය විසින් හමුදාව යොදවා කැනීම් කටයුතු කඩිනමින් සිදු කළ බව ඔබ වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂා කර තවම තීරණයක් ලබා දී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අනුව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම එම ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප කටයුතු කරන බව ද කිවයුතුයි.
එමෙන්ම සියලු බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අප කටයුතු කරනවා. පළමුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන සොයා ගැනීම් සිදු කළයුතුයි. ඉන් අනතුරුව අප ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනෙකුත් ආගම්වල ද ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව ද අප අවධානය යොමු කරනවා.

නමුත් කිසිවෙකුට පිටතින් පැමිණ ගැටලු ඇති කිරීමට අප කිසිදු අවස්ථාවක ඉඩ තබන්නේ නැහැ. එම ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ඒ පළාත්වල ආගමික නායකයන් එකතුවී කටයුතු කරනවා නම් මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන්නේ නැහැ.

ඒ වගේම නව පනත් සම්පාදනය පිළිබඳව ද මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා. ඒ පිළිබඳ මල්වතු පාර්ශවයෙන් හා අස්ගිරි පාර්ශවයෙන් සන්නසක් ලබාදුන්නා. ඒ ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම අනෙකුත් නිකායන්වලින්ද යෝජනා සහ අදහස් ඉල්ලා තිබෙනවා.

නිදහසට පෙරත් විහාර දේවාලගම් පනත ගෙනවිත් මෙවැනි නීති සම්පාදනය කළේ දළදා සමිඳුන් ආරක්ෂා කරගෙන මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙනුයි. එසේම 19 වන ශතවර්ෂයේ ද මෙවැනි නීති පැවතුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ඉඩම් පිළිබඳ නීතියක් වසර 20කට පෙර සම්මත කර ගෙන තිබුණා. එහි සංයුතිය වෙනස් කිරීමට අප කටයුතු කළා. සෑම පළාතකින්ම එක් අයෙකු බැගින් නියෝජිතයන් 09 දෙනෙක් සහ මධ්‍ය ආණ්ඩුව නියෝජනය කරමින් විවිධ තනතුරු දරණ 12 දෙනෙකු ඒ සඳහා පත් කර තිබෙනවා.

ඊට අමතරව රටේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තික් සැකසිය යුතුයි. ඒ අනුව ඉඩම් භාවිතය පිළිබඳව නිශ්චිත නිගමනවලට පැමිණිය හැකියි. ඉඩම් සම්බන්ධයෙන් වෙනත් සංශෝධන කිසිවක් මෙහිදී අප සිදු කර නැහැ. ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට ලබා දෙනවා. ජාතික ඉඩම් කොමිසම ගන්නා තීරණය අනුව එම වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.
හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.