Published on: ජූලි 4, 2023

ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල නිරත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ දින පෙරහර ආරම්භ කරමින් කණ්ඩුල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

අනතුරුව අවසන් මහා පෙරහර නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා කතරගම සමන් මහා දේවාලය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පෝල්, (Poj Harnpol) කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.