Published on: ඔක්තෝබර් 20, 2023

චීනයේ “සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් යළි අරඹන බව ජනපති පවසයි

චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමිපාණන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර බීජිං නුවරදී ඊයේ (19) පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹිණ.

“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ ක්‍රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරු ජයසූරිය මහතා විසින් මුල් ගල් තබන ලදී.

නමුත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්‍රියාත්මක නොවූ අතර එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ආ බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මෙම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.