Published on: ජූනි 13, 2024

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වුණා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ වන විට රජය විසින් උරුමය සහ අස්වැසුම ඇතුළු වැදගත් ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නඟා තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති රැසක්ම මේ වන විට ආරම්භ කර තිබෙනවා. විමධ්‍යගත ප්‍රතිපාදන හරහා ගමේ, නගරයේ යළි සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සහය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව මෙහිදී සඳහන් කළ යුතුයි. ජනතාවගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට හැකි වී ඇති මේ අවස්ථාවේ දී අප හැමෝම අපගේ රාජකාරිය ඉටුකළ යුතුයි.

අප මෙම අමාත්‍යාංශ බාර ගන්නා විට රටේ ගැටලු රැසක් ඇති වී තිබුණා. නමුත් මේ වන විට අප ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදුකළ නොහැකි අවස්ථාවක වුවද ග්‍රාමසේවා වසම් 1942 ක් සඳහා නව නිලධාරීන් පත් කිරීමට ද කටයුතු කළා. මේ වන විට ඔවුන් සඳහා වන පුහුණු වීම් කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. ඒ සඳහා ඉදිරිපත් කළ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නම් සංශෝධන ඇති කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ග්‍රමසේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පැවති සමයේ ආපදා තත්ත්වයක් ඇති වුණා. නමුත් දිවයිනේ බහුතර ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම අවස්ථාවේ ඉදිරිපත් වී තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම සම්න්ධයෙන් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

එමෙන්ම දිවයින් පුරා ග්‍රාමීය ආහාර සුරක්ෂිතා කමිටු සහ පෝෂණ කමිටු නිර්මාණය කර ඒ හරහා සුරක්ෂිත ආහාර වේලක් ජනතාවට ලබාදීමට හැකි වී තිබෙනවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.