Published on: ජූනි 16, 2024

කිසිදු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා

  • වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් – පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.
  • “පරිසර පද්ධති සහ ජෛවවිවිධත්වය” සංරක්ෂණය කිරීමේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා – අමාත්‍යාංශ ලේකම්.
  • ශ්‍රී ලංකාවම ආවරණය වන ආකාරයට උපාය මාර්ගික පාරිසරික ඇගයීමක් සිදු කරනවා- සභාපති (මධ්‍යම පරිසර අධිකාරිය).
  • ඛනිජ සම්පත් කලමනාකරණට අදාළ සියලු අංශ ඩිජිටල්කරණයට ලක් කරනවා – සභාපති (භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය).
  • දේශගුණ විපර්යාස සම්බන්ධ ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මකයි – අතිරේක ලේකම් (පරිසර සංවර්ධන).
  • වායු ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා – අතිරේක ලේකම් (ස්වභාවික සම්පත්).

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට සතු වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍යඅමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

පරිසර අමාත්‍යාංශයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අප අමාත්‍යාංශයේ කටයුතු අනෙක් රාජ්‍ය ආයතනවල කටයුතු මෙන් එක් වරම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අමාත්‍යාංශයක් ලෙස අප පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. එසේම තවත් වැදගත් වැඩ කටයුත් රැසක් ඉදිරියේදී සිදු කිරීමටද නියමිතයි.

පසුගියදා පැවති පරිසර දිනයට සමගාමීව අප දිවයින පුරා පරිසර සතියක් ප්‍රකාශයට පත් කළා. එය සනිටුහන් කරමින් මුළු දිවයිනම ආවරණය වන ආකාරයට පැල 1000,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා.

මේ වන විට මෙරට පවතින 29%ක වන ගහණය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ සඳහා විශේෂයෙන් වනයේ තිබෙන හිස් භූමි ප්‍රදේශවල නව තාක්ෂණය යොදා ගෙන පැල සිටුවීමට කටයුතු කරනවා. එසේම ‘ගසට පැලයක්’ ව්‍යාපෘතිය යටතේ ඉවත් කරනු ලබන සෑම ගසක් වෙනුවෙන්ම බාධාවක් නොවන ස්ථානයන්හි පැලයක් සිටුවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම පරිසරය ඇතුලු දේශගුණ විපර්යාස පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි අවධානයකින් කටයුතු කරනවා. එබැවින් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස එතුමා උපදෙස් දී තිබෙනවා.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. තවද මෙරට වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී. කේ චන්ද්‍රකීර්ති මහතා,

‘තිරසර සංවර්ධිත ශ්‍රී ලංකාවක්’ යන දැක්ම යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ පරිසර අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පරිසර පද්ධති සහ ජෛවවිවිධත්වය තිරසාර සංරක්ෂණය යටතේ දඹුල්ල පොපම් ආර්බොරේටම් සංවර්ධනය කිරීම, හානියට පත් කඩොලාන පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය සඳහා කඩිනම් පියවර ගැනීම සිදු කර තිබෙනවා. එසේම රත්නපුර කෞතුකාගාර භුමියේ පිහිටි පුරාජෛවවිවිධත්ව උද්‍යානය, බුන්දල පතිරාජවෙල හා කිතුල්ගල බෙලිලෙන යන ස්ථානයන් පුරාජෛව විවිධත්ව සංචාරක ගමනාන්තයන් ලෙස සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පාලනය හා කළමනාකරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. පරිසර පද්ධති සහ ජෛවවිවිධත්ය තිරසාර සංරක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි ශ්‍රී ලංකාවේ කැපවීම අගය කරමින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ‘කඩොලාන සුරැකීමේ ගෝලීය ප්‍රමුඛයා” ලෙස අප රට සම්මානයට පාත්‍ර වුණා.

පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කලමණාකරණ අංශය මඟින් පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් අපද්‍රව්‍ය හා පොලික්ලෝරිනේටඩ් අඩංගු උපකරණ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය හා බැහැර කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීම සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජනනය වැළැක්වීම සහ අවම කිරීම පිළිබඳ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

තවද ආසියා-පැසිෆික් රටවල එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් සහ එහි අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය පිළිබඳ ධාරිතා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියද මේ වන විට ක්‍රියාත්මකයි. මීට අමතරව මිනමාටා සම්මුතියට අයත් විශේෂිත ජාත්‍යන්තර වැඩසටහන යටතේ ක්‍රියාත්මක රසදිය අඩංගු හා රසදිය මිශ්‍ර වූ අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ජාතික ධාරිතා වර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ආයතනික ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘතිය සහ “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ භාවිතා වන දිගුකල් පවතින කාබනික දූෂක සහ සෞඛ්‍ය සේවා අංශවල භාවිතා වන රසදිය හා අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම” සඳහා වන ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි.

එසේම සංවර්ධන වැඩසටහන් ලෙස “හරිත පාසල්, හරිත ආයතන හා හරිත රෝහල්” සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික සන්නිවේදන වැඩසටහන එළිදැක්වීම , දියවන්නා ඔය ආශ්‍රිත ජල දූෂණය පාලනය කිරීම හා එහි තත්ත්වය වැඩි දියුණු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඉතා ඉක්මණින් එළි දැක්වීමට ද කටයුතු කරනවා.

අතිරේක ලේකම් (පරිසර සංවර්ධන) ආර්. ඩී. එස් ජයතුංග මහතා,

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ වෙනුවෙන් කඩිනම් ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මකයි. ඒ අතරින් කෘෂිකර්ම, වනාන්තර හා වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍රය සඳහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතිය (CBIT/ AFOLU) මේ වන විටත් ක්‍රියාත්මකයි. එසේම ශ්‍රී ලංකාවේ පළමු හා දෙවන ද්වීවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තා හා හතරවන ජාතික සන්නිවේදන වාර්තාව දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට සකස් කිරීම සිදු කර තිබෙනවා. තවද ශ්‍රී ලංකාවේ ජාතික අනුහුරුවීමේ සැලසුම (NAP) ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය හා ධාරිතාව ශක්තිමත් කිරීම සහ දේශගුණික විපර්යාස පළාත් සංවර්ධනය සඳහා අන්තර්ග්‍රහණය කිරීම සහ පළාත් අනුවර්තන සැලසුම් සකස් කිරීමත් දේශගුණ විපර්යාස පළාත් සංවර්ධන සැලසුම් සඳහා අන්තර්ගත කිරීමත් මේ වන විට සිදු කෙරෙනවා.

සියලුම අමාත්‍යාංශ සහ නියෝජිතායතනවලින් තෝරාගත් නිලධාරීන් සඳහා හරිත දේශගුණික අරමුදල (GCF) වෙත ඉදිරිපත් කිරීමට ව්‍යාපෘති සංකල්ප පත්‍රිකා ලිවීම පිළිබඳ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් වැඩමුළු පැවැත්වීමද සිදු කෙරෙනවා.
මීට අමතරව කර්මාන්ත ක්ෂේත්‍රයේ දේශගුණ විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය Accelerating Industries Climate Response in Sri Lanka (EU Project) සහ 3rd NDA Readiness ව්‍යාපෘතියද ක්‍රියාත්මකයි.

අතිරේක ලේකම් (ස්වභාවික සම්පත්) ඩබ්ලිව්. ඩී. එස්. සී වැලිවත්ත මහතා,

පරිසර අමාත්‍යාංශයේ ස්වභාවික සම්පත් අංශය මඟින් සුවදායි භූමි දර්ශ ව්‍යාපෘතිය-2021-2024 සහ එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැලැක්වීමේ සම්මුතියේ අධීක්ෂණ හා වාර්තාකරණ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් පවතිනවා.

කොළඹ නගරයේ වායු දූෂණය පිළිබඳ වඩාත් අවදානම් ස්ථාන හඳුනා ගෙන වායු ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ තාක්ෂණික සහය යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා,

කොතරම් නීති රීති තිබුණක් ‘පරිසර සංස්කෘතිය’ ඇති කිරීමකින් තොරව පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අප බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගත නොහැකි බව හඳුනා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් පාසල් මට්ටමින්, විශ්ව විද්‍යාල මට්ටමින් මෙන්ම ගුරු අභ්‍යාසලාභී පීඨ ආවරණය වන ආකාරයට වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපගේ පුස්තකාල පහසුකම් වැඩි දියුණු කරමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරිසර දැනුම ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස එය මුළුමණින්ම ඩිජිටල්කරණය කර තිබෙනවා.

තවද ජාතික පාරිසරික පනත සංශෝධනයට කටයුතු කිරීම,පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ක්‍රියාමාර්ග ගැනීම මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

වාර්ෂිකව සිදු කරන ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය ජනතාව පරිසරය සඳහා සංවේදී කිරීමට ගන්නා තවත් උත්සාහයක් බව කිව යුතුයි.

ඒ වගේම ශ්‍රී පාද සමයේ ඒ ආශ්‍රිත කසළ කළමනාකරණය සඳහා සුවිශේෂී වැඩසටහනක් අප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. තවද බස්නාහිර, දකුණ, නැ‍ඟෙනහිර සහ ඌව සහ පළාත්වල දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන ආකාරයට මධ්‍යස්ථාන 97කදී විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම ‘ ඒතාලෙයිකුලම් වැව සහ වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ’ ලෙස ප්‍රකාශයට පත් කිරීම, ශ්‍රී ලංකාවේ සියළුම දුම්රිය ස්ථාන පරිසර හිතකාමි දුම්රිය ස්ථාන බවට පත් කිරීම වැනි කටයුතු රාශියක් ගත වූ කාලය තුළ අප විසින් සිදු කර තිබෙනවා.

තවද පාරිසරික පැමිණිලි විසඳීම සඳහා 1981 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම විවෘත කර ඇති අතර පරිසර පැමිණිලි ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුව සමඟ මේ වන වට සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකාවම ආවරණය වන ආකාරයට උපාය මාර්ගික පාරිසරික ඇගයීමක් (Strategic Environment Assessment) සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එහි මූලික අදියරේ කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙනවා. උපාය මාර්ගික පාරිසරික ඇගයීමක් ලෙස හඳුන්වනු ලබන්නේ සැලසුම්, ප්‍රතිපත්ති හෝ යම්කිසි වැඩසටහනකට පරිසරයේ ඇති වැදගත්කම හෝ පරිසරයට සැළකිය යුතු ප්‍රමාණයේ බලපෑමක් වනවා නම් එය අවම කර ගනිමින් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කර තීරණය කිරීමයි. මෙඟින් කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් සහ අනෙකුත් සහායන් පහසුවෙන් ලබා ගත හැකි වෙනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනවශ්‍ය කාලයක් ගත වීමද මෙමඟින් වැළැක්විය හැකියි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති කිත්සිරි මංචනායක මහතා,

අපේ රටේ ඛනිජ සම්පත් පිළිබඳ මෙරට මෙන්ම විදේශ ආයෝජකයන්ගේ ද විශාල අවධානයක් යොමු වී තිබෙනවා. ඔවුන්ට අදාළ ආයතන සමඟ බාධාවකින් හා ප්‍රමාදයකින් තොරව අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා අප සෘජුව මැදිහත් වෙනවා.

එසේම මේ වන විට ආරම්භ කර ඇති ඛනිජ සම්පත් කලමනාකරණට අදාළ සියලු අංශ ඩිජිටල්කරණය කිරීම තුළින් ලෝකයේ ඕනෑම රටක සිට අපගේ ඛනිජ නිධි හා ඊට අදාළ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එමඟින් ශ්‍රී ලංකාවේ වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා සහාය වීමට අප කටයුතු කරමින් සිටිනවා.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (පුද්) සමාගම නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.