Published on: අගෝස්තු 5, 2022

කතරගම ඇසළ පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ප්‍රථම වතාවට ජනපති උපදෙසින් පහසුකම්.

කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත.
පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිතුමාව දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලස්වන ලෙස උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ලබයි.
වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නකි. එම ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගෙන් වන ආපදාවලට ද මුහුණ දී තිබේ.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-05

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.