Published on: සැප්තැම්බර් 25, 2022

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ‍.

ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2970කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇත.

එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු.5,000ක් බැගින් මාස 24ක උපරිම කාලසිමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
මෙම වර්ෂයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල ලද පසු අ.පො.ස (උසස් පෙළ) අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමට නියමිතය.

මෙම ක්‍රියාවලිය සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.