Published on: දෙසැම්බර් 20, 2022

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය දෙසැම්බර් 23 දා

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.

ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්‍රමවේදය වන අතර එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ලබයි.

නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති අරමුදල වෙත ද යොමු කර තිබිණි. එබැවින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු ප්‍රමාදයකින් ‍තොරව විධිමත්ව ඉටුකර ගැනීම සඳහා එම අයදුම් පත් සෘජුව ජනාධිපති අරමුදල වෙත යොමු නොකොට, අදාළ විදුහල්පතිවරු වෙත භාරදෙන ලෙස සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයින් වෙත දැනුම් දී සිටියි.

ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.