Published on: ඔක්තෝබර් 12, 2023

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත.

ඒ අනුව මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට රජයේ වගකිවයුතු අංශ එක්ව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව ගත හැකි උපරිම මැදිහත්වීම සිදුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

එහිදී ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳ සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා තිබේ.

ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ opscenga@gmail.com යන Email ලිපිනය හරහා සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතී.

පිළිගත් ආගමන විගමන පටිපාටිය ඔස්සේ මෙන්ම වෙනත් කවර හෝ ක්‍රමයක් ඔස්සේ ඊශ්‍රායලයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකු හට මෙම සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙන බව රජය අවධාරණය කර සිටියි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.