Published on: මාර්තු 15, 2024

ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කඩිනමින් ශක්තිමත් කර ගත යුතුයි

  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව එළිදැක් වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවෙනවා – ජනපති.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු- ශ්‍රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් “මෛත්‍රී” සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් විශාල බැඳීමක් තිබෙනවා. ඒ වගේම අපේ රටවල් දෙකටම පොදු උරුමයන් පවතිනවා.

මෙවර 75 වන ඉන්දීය ජනරජ දින සංවත්සරයේ විශේෂත්වය වන්නේ මම පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ එක්ව අත්සන් තැබු “දැක්ම” ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන දැක්ම ප්‍රකාශය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටිනවා.

අපේ රටවල් දෙක අතර පවතින සංස්කෘතික හා ආගමික බැඳීම්, රටවල් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වීම, සහ රටවල් දෙකටම බ්‍රිතාන්‍ය නීති පද්ධතියක් පැවතීම වැනි කාරණා පිළිබඳව අප නිරන්තරයෙන් සාකච්ඡා කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින වෙළඳ සහ ආර්ථික සම්බන්ධතාව අප අමතක කර තිබෙනවා.

එම සම්බන්ධතාව සංස්කෘතික බැඳීම්වලටත් වඩා ඔබ්බට ගිය සම්බන්ධතාවක් බව සිහිපත් කළ යුතුයි. මොහෙන්ජදාරෝ ශිෂ්ඨාචාරය පැවති කාලයේ සිට පවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නැව් පැමිණි බව පැවසෙනවා. විශේෂයෙන් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සැළකූ විට, අනුරාධපුරය, තන්ජාවූර්, මධුරෙයි සහ කාන්චිපුරම් යන රාජධානි හතර ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වූ ආකාරය අනුව එකිනෙකා සමඟ සන්ධානගත වී හෝ එකිනෙකා සමඟ සටන් කිරිම සිදුව තිබෙනවා.

ඉන්දියානු රාජධානි තුනට බොහෝ අවස්ථාවල ලෝකයේ නැගෙනහිර රටවලට ප්‍රවේශ වීම සඳහා ප්‍රධාන වරායක් බවට පත් වූයේ ත්‍රිකුණාමල වරායයි. මුන්නෙස්වරම් කෝවිල, මන්තායිහි හි පිහිටි කේතීස්වරම් කෝවිල, දඹකොළපටුන ලෙස හඳුන්වන යාපනයේ සිට පැමිණි අය වෙනුවෙන් ඉදිකර ඇති නගුලේස්වරම් කෝවිල, ත්‍රිකුණාමලයේ පිහිටි කොනේශ්වරම් කෝවිල යන මේ සියලු සිද්ධස්ථානවලින් හමුවී ඇති කාසි ප්‍රමාණයෙන් පැහැදිළි වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති වෙළඳ සබඳතාව සහ දෙරට අතර සිදුවි ඇති ක්‍රියාකරකම් පිළිබඳවයි.

එමෙන්ම පැරණි ගම්මාන පිළිබඳ කැනිම් සිදුකිරීමේදී අනුරාධපුර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලින් දකුණු ඉන්දියානු වෙළෙඳ සංවිධාන විසින් නිකුත් කරන ලද කාසි සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල භාවිතා කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම, අතීතයේ සිටි පිරිස් වෙළඳ ගනුදෙනු සඳහා පොදු මුදල් ඒකකයක් භාවිතා කර තිබෙන බව මෙයින් පෙනී යනවා.ඒ අනුව මෙම සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට දැන් අප කටයුතු කළයුතුයි. ප්‍රවාහන, බලශක්ති යන සියලු ක්ෂේත්‍රවල අප දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනිමට අවශ්‍යයි.

ඒ වගේම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම දකුණු ඉන්දියාවට පහසුකම් සැලසෙන පරිදි භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළයුතුයි. ඒ අනුව අග්නිදිග ආසියාව සහ බෙංගාල බොක්ක යන කලාපයන් සංවර්ධනය වන විට ත්‍රිකුණාමලය නැවත සංවර්ධනය කිරීම පිළිබඳ අපේ අවධානය යොමු කර තිබෙනවා. බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත උපායමාර්ගික වටිනාකම නිසා කොළඹ වරාය භාවිතා කිරීම දැන් වැඩිදියුණු වෙමින් පවතිනවා. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා ගන්නේ කෙසේද සහ ශ්‍රී ලංකාව සතු අතිරේක පුනර්ජනනීය බලශක්තිය දකුණු ඉන්දියාව සඳහා ලබාදෙන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අප කටයුතු කරමින් සිටිනවා.

සංචාරක කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ ඉන්දියාවට නිතර යන ශ්‍රී ලාංකිකයන් සිටිනවා. ඉන්දියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන තරමටම ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් තිරුපති සහ අයෝධ්‍යා මෙන්ම ගුරුවායුවලට යනවා.

අප සාමුහිකව කටයුතු කළාහොත් ඉන්දියන් සාගරය දියුණු වනවිට අපේ රටත් දියුණු වෙනවා. අපි ආර්ථික ඒකාබද්ධතාවය කරා ගමන් කරනවා. වෙනත් ක්‍රමයක් නැහැ. මෙහිදී අප යුරෝපා සංගමය සමඟ එක්වූ බ්‍රිතාන්‍යය සිදු කළ දේ අනුගමනය නොකළ යුතුයි. පසුව ඉන් ඉවත්ව යනවා කියලා ඔවුන්ම තීරණය කළා. ඒ වගේම ඔවුන් තවමත් ඉන්දියාව සමඟ නිදහස් වෙළද ගිවිසුමකට ඇතුළු වන ආකාරය සොයමින් සිටිනවා. ඒය සිදුවෙයි ද නැද්ද කියා මා දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, අපට තිබෙන අවස්ථාවන් අප අවබෝධ කරගත යුතුයි. අප ඉන්දියාව සමඟ එක්ව ඉදිරියට යන්නේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. එය ඉතා පහසු ක්‍රියාවලියක් බව කිව යුතුයි.
බැංගලෝර්වල සිටින අයෙකුට රාජස්ථාන්වලට යනවාට වඩා පහසුවෙන් නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි. රාජස්ථාන්වලට යාමට පැය දෙකක් ගතවුවත් ශ්‍රී ලංකාවට පැමිණීමට ගතවන්නේ පැයක කාලයක් පමණයි.

කර්මාන්ත කටයුතුවලදී මෙන්ම මේ සියලු කටයුතුවලදී සැපයුම් දාමයන් ස්ථාපිත කිරීමේ හැකියාව ද තිබෙනවා. ඉන්දියන් සාගරය දැන් සංවර්ධනය වෙමින් පවතිවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය ආදී අනෙකුත් රටවල් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා.එවිට ඉන්දියන් සාගර කලාපය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඉදිරි වසර 50ක, 60ක කාලය තුළ අප්‍රිකානු කලාපයද දියුණු වන නිසා එය එසේ සිදුවනු ඇතියි. ඉතින් අප දැන් මේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. අප රටවල් දෙක අතර දේශපාලන සම්බන්ධතා පවතිනවා. මේ සියලු ක්ෂේත්‍ර තුළ අපේ රටවල් දෙක එකිනෙකාට සමීපයි. ඒ නිසා අපි එකිනෙකාට උපකාර කරමින් ඉදිරියට යා යුතුයි. මේ තුළින් දෙරටටම ප්‍රතිලාභ උදා වෙනවා.

ඒ නිසා, අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගිය වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ වෙනුවෙන් මම ශ්‍රී ලංකා-ඉන්දියා සමාජයට ස්තූති කරනවා. ඒ වගේම අප විසින් එළිදක්වන ලද මේ “දැක්ම” ප්‍රකාශය මෙතැන් සිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද් කුමාර්, ෂෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකා ඉන්දියා සමාජයේ නිලධාරී මණ්ඩලය සහ එහි සමාජිකයන් මෙන්ම දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.