ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය 28දා නවදිල්ලි නුවරදී පැවැත්විණි.
මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සාගල රත්නායක මහතා ඇතුළු කණ්ඩායම සාදරයෙන් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නැවතත් ධනාත්මක මට්ටමකට පැමිණෙමින් තිබෙන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගික ආර්ථික වැඩපිළිවෙළ මත එකඟත්වයට පැමිණි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට දෙරටටම හැකියාවක් තිබෙන බවද පෙන්වා දුන්නේය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිමේ දී ඉන්දීය රජය ලබාදුන් සහාය කෘතවේදීව අගය කළ සාගල රත්නායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය ද පැහැදිළි කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එහිදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික ඒකබද්ධතාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාව ද මෙහිදී සිහිපත් කළ රත්නායක මහතා සමීපතම අසල්වැසියන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ව්‍යාපෘති නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වු අතර සැම කාර්තුවකදීම එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.