Published on: අප්‍රේල් 2, 2023

ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ,ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම භාරත් ලාල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබේ.

මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමෙන් ඉන්දියාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙන බව ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී භාරත් ලාල් මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.