Published on: මාර්තු 29, 2023

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක මහතා

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ, ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය ගැටලු සහ ඒ පිළිබඳ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මතුව ඇති සියලු ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කළහ.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු කමිටු සාමාජිකයන් මීට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.