Published on: දෙසැම්බර් 15, 2022

ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්විය යුතුයි – ජනපති බදුල්ලේ දී කියයි

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රීක් වැඩසටහනට අද (15) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ආහාර සුරක්ෂිතතා වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අදහස් දැක්වීම ගැන මම සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. ආහාර සුරක්ෂිතා වැඩසටහන අපි ආරම්භ කළේ රටේ පොහොර සහ ඉන්ධන හිඟයක් මතුව තිබූ අවස්ථාවක. ඒ වගේම කිසිදු රටක් අපට ණය ලබා නොදෙන අවස්ථාවක.

2023 වසරේ දී ආහාර හිඟයක් ඇති වීමට ඉඩ කඩ තිබෙනවා. ඊට මුහුණදීම සඳහා තමයි අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ. මෙම වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සමාලෝචනයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නැවත සිදුකරන්න කියලා මම යෝජනා කරනවා. මෙහිදී අලුත් දත්ත ලැබෙන්න පුළුවන්. ඒ අනුව අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යමු. මෙම වැඩසටහන 2023න් පසුව අවසන් වන්නේ නැහැ. අපි එය ඉදිරියටත් පවත්වාගෙන යනවා. ප්‍රාදේශීය සභාවල එක් එක් දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයන් ඉන්නවා. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.

කෙසේ හෝ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දීමට අපට හැකි වී තිබෙනවා. මෙවර මහ කන්නය සාර්ථකවීමත් සමඟ ඉදිරියේදී අපට සහල් අතිරික්තයක් ලැබෙනවා. එහිදී මතුවිය හැකි ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටළු අප හඳුනාගෙන තිබෙනවා. එම ගැටලු විසඳීමටත් අපි කටයුතු කරනවා. ඒ අතරම වීවලට පාලන මිලක් නියම කිරීමටත් අපි පියවර ගන්නවා.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය දියුණු කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා

අපි නිරන්තර‍යෙන් කටයුතු කරන්නේ වඩා වැඩි ඵලදාවක් ලබාගත හැකි බෝග වගා කිරීමට අවස්ථාව සලසා දීමටයි. ඒ සඳහා නවීන කෘෂිකර්ම ක්‍රමවේද භාවිතා කිරීමට අපි කටයුතු කරනවා. අපට පොහොර නැති වෙලා තිබුණා.

දැන් අවශ්‍ය පරිදි පොහොර ලැබෙනවා. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සහනාධාරය ලැබී තිබෙනවා. මේ අනුව හෙක්ටයාර් එකකට රුපියල් පනස්දාහක් රජය වියදම් කරනවා. ලබන කන්නයෙදී මඩ පොහොර නොමිලේ ලබා දීමට අපි කටයුතු කරනවා. එහිදී පොහොර ලබා ගැනීම සඳහා මුදල් ගොවීන්ගේ ගිණුමට බැර කරනවා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, තේනුක විදානගමගේ, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවෙල්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.