Published on: අගෝස්තු 3, 2022

ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නැංවීම අපේ උත්සාහයයි. 2026 වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක්.

නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිය අරඹා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති කියයි.
ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම රජයේ උත්සාහය වන අතර 2026 වසර වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීම අපේක්ෂාව බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 වසර වන විට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් ඇති කර ගැනීම ඉලක්කයයි. වර්තමානයේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140කි. 2032 වසර වන විට මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය අද (03) පෙරවරුවේ ආරම්භ කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්විණි.
පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ.
සම්ප්‍රදායිකව සිදු කරන කටයුතුවලට පමණක් ප්‍රමුඛත්වය දෙමින් පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කෙරුණු අතර මෙම සැසිය ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලට පමණක් සීමා කිරීමටත්, ජනාධිපති ධජය භාවිතා නොකිරීමටත් ජනාධිපතිතුමා තීරණය කර තිබිණි.
ප්‍රධාන දොරටුව අභියස දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ, ජයමංගල ගාථා ගායනා කර; ජනාධිපතිතුමා පිළිගත්හ.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, රජයේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටත්, ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය හොත් 2048 වසරේ 100 වෙනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවයි.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේ ද කීය.
සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමකි. ඒ අයිතිවාසිකම් මම පිළිගන්නවා. මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවේ.
සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයේ අගතියක් සිදු වීමට මම ඉඩ දෙන්නේ නැ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.
සිදු කළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවා දැයි තීරණය කිරීම උදෙසා ජන සභාවක් ස්ථාපිත කිරීමටත් මම පියවර ගන්නවා. දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුද්ගලයන්ගේ අදහස් විමසීමේ යාන්ත්‍රණයක් මේ ජන සභාව ඔස්සේ සකස් කරනවා. ඒ සඳහා අදහස් ලබා දෙන මෙන් අරගලයට සම්බන්ධ වූ සහ සම්බන්ධ නොවූ තරුණ පරපුරට මම විශේෂයෙන් ආරාධනා කරනවා.
මම අද දවසේ පැළ කරන ගසෙහි ඵලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දූ දරුවන්, අනාගත පරම්පරාව ඒ ඵලදාව භූක්ති විඳිවි.
මීට දශක හතරකට පෙර රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පයක් පැවතුණා. නමුත් එය අසාර්ථක හා අකාර්යක්ෂම බව දැන් මුළු ලෝකයම පිළිගන්නවා. සමාජවාදී රටවල් වන චීනය සහ වියට්නාමය පවා දැන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේ එල්ලී සිටියොත්, අපේ රට තවදුරටත් පහළට වැටීම කිසිවෙකුටත් වළක්වා ගන්න වෙන්නේ නෑ. ඒ නිසා මේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ අපට ප්‍රතිපත්තිය තීරණ ගැනීමට සිදු වෙනවා.
ලෝකයේ මෙතෙක් ආර්ථික බලවතුන් වුණේ බටහිර රටවල්. නමුත් 21 වන සියවස නිමා වෙන්නට පෙර ලෝකයේ බලවත් ආර්ථිකය ඉන්දීය සාගර කලාපයට හිමි වෙනවා. එබඳු පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. මේ වාසිදායක පිහිටීමෙන් අප උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි. මේ පිළිබඳ සිහි තබාගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතුයි.
හැමදාමත් ණය ගනිමින් රටක් ගෙනයන්න බැහැ. ණය ගැනීම් හැකිතාක් අවම කරගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා ඉන්දීය සාගරය කේන්ද්‍රීය, නව ආර්ථික බලයෙන් අපේ රටට උපරිම ප්‍රයෝජන ලබාගත හැකි නීති-රීති හා ප්‍රතිපත්ති මම ඔබ සමග එකතු වී සම්පාදනය කරනවා.
ඉන්දියාව සමග සම්බන්ධ වී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී එය ඉන්දියාවට විකුණනවා යැයි කියමින් සංවර්ධන ව්‍යාපෘති අඩාල කළා. එදා අපට තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරගන්න හැකි වුණා නම් අද ජනතාවට ඉන්ධන පෝලිම්වල දින ගණන් රස්තියාදු වෙන්න සිදු වෙන්නේ නැහැ.
සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරද්දිත් ඒ හා සමාන විරෝධයක් එල්ල වුණා. සුවසැරිය ගිලන් රථ වලින් රෝහලට ආවොත් අත්වෙන්නේ මරණය යැයි කියමින් සමහර වෛද්‍යවරු මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තා. නමුත් අප කෙසේ හෝ සුවසැරිය ආරම්භ කළ නිසා මේ වන විට ජීවිත දහක් ගණනක් ආරක්ෂා වී තිබෙනවා

සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කිරීමේදීත්, වරාය වැඩිදියුණු කිරීමටත් ජපානය ඉදිරිපත් වූ අවස්ථාවේ පදනම් විරහිතව බොළඳ හේතු දක්වමින් ඊට විරුද්ධ වුණා. මේ නිසා අපේ රටට ලැබීමට තිබුණු ඩොලර් බිලියන තුනකට (03) අධික මුදලක් රටට අහිමි වුණා.
(ජනාධිපතිතුමා නව (09) වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය අමතමින් කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ.)

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-03

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.