Published on: දෙසැම්බර් 9, 2022

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යයන ක්ෂේත්‍ර‍යේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යයන ආයතනයක් වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අණ හා මාණ්ඩලික අංශයන් දෙකෙහිම වෘත්තීය දැනුම හා අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද්දකි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 16 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 76 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 26 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙක් මෙන්ම බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ඕමානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගල්, සැම්බියා යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින් 11 දෙනෙක් මෙහිදී උපාධි ලබා ගත්හ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පීඨාධිපති මේජර් ජෙනරල් ලසන්ත ‍රොද්‍රිගෝ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට සහභාගි වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.