Published on: සැප්තැම්බර් 7, 2023

ආරක්ෂක ලේකම් ලියූ කෘති 02ක් සහ ගීතයක් එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ “ ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත්විණි.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් වෙත කෘති පිළිගැන්වීම සිදු විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර මහතා විසින් සංගීතවත් කර තිබූ අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර මහත්මිය විසින් එය ගායනා කරනු ලබයි.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය වෙත පිරිනැමුණු ග්‍රන්ථ කට්ටලය එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා වෙත මෙහිදී භාර දෙනු ලැබීය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයින් ද, අමාත්‍යවරුන් වන අලි සබ්‍රි, ටිරාන් අලස්, සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.