Published on: ජනවාරි 26, 2023

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති හිමිපාණන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති, අගමැති සහභාගිත්වයෙන්

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය 28 වැනිදා සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ.

මෙහිදී අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරේ. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

අටමස්ථානාධිපති ධූරයෙහි වැඩවිසූ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ තේරී පත් වූහ.

1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් වලින් සිය මූලික අධ්‍යාපනය ලැබීය.

1968 මැයි 09 වැනිදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ 1975 ජුනි 05 වැනිදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබීය. අනුරාධපුර මහාවිහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබීය.

1977 සිට 1988 දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේවා කටයුතු භාරව කටයුතු කළ උන්වහන්සේ, 1982 සිට 1997 වසර දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කළහ. ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා සිටින උන්වහන්සේ ලාංකේය ගීත සාහිත්‍ය සුපෝෂිත කළ විශිෂ්ට ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූහ.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ 1988 සිට අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස වැඩ සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ.

1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ පල්ලේගම හේමරතන නා හිමියන් 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීය. 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ උන්වහන්සේ එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.