පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ පිහිටුවන තේරීම් කාරක සභාව තීරණයක් නොගතහොත් ජනමත විචාරණයක් පවත්වනවා

• මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්
• පළාත් පාලන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර
• මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා
• දේශපාලන පක්ෂ නීති ගැන අවධානය
• මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව රීති පාර්ලිමේන්තුවට
• දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වූණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහැ.

ජනපති කියයි.

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ කඩා වැටීම. අනික මේ රටේ දේශපාලන ක්‍රමය රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ ආර්ථික කඩා වැටීම ඇති වුණේ දේශපාලන ක්‍රමය නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා.

ආර්ථිකය වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන අපි කතා කර තිබෙනවා. මම ඒ ගැන මෙතන වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙත් දේශපාලන වැඩපිළිවෙළ ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. අද මේ රටේ ජනාවගෙන් බහුතරයක් රටේ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න කියලා කියනවා. එහෙම කියන්නේ පුද්ගලයන් නිසා නොවේ, දේශපාලන ක්‍රමය පිළිගන්නේ නැති නිසා.

පසුගිය මාර්තු මාසයේ මේ උද්ඝෝෂණ පටන් ගත්තේ දේශපාලන පක්ෂ නොවේ, දේශපාලන පක්ෂවල උද්ඝෝෂණවලට ජනතාව අවේ නැහැ.

ජනතාව වෙනම ඉදිරියට ආවා. අවාසනාවකට මැයි, ජුනි වෙන කොට එක් එක් දේශපාලන සංවිධාන විසින් මේ විරෝධතා ව්‍යාපාරය තමන්ගේ අතට ගත්තා. ඒ සමගම ප්‍රචණ්ඩත්වයත් ආවා. ප්‍රචණ්ඩත්වය සමග රටේ ආණ්ඩු බලය අල්ල ගන්න ක්‍රියා කළා. ඒ නිසා එදා තිබුණු අරගලය කඩා වැටුණා.

තවමත් ජනතාව කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ප්‍රචණ්ඩත්යට කවුරුවත් කැමති නැහැ. මේක අපි පිළිගන්න ඕන.

මේ ආකල්පය වෙනස් කරමින් තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ.

පක්ෂ ක්‍රමය නිසා අද පාර්ලිමේන්තුවේ එක එක කණ්ඩායම් බිහි වෙලා තිබෙනවා. ජනාධිපති ධූරයට පත්වෙන්න මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒක රහසක් නොවේ. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්නා.

සජබෙ ඒ වගේම ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දය දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම මට ඡන්දය ලැබුණා.

මම පටු පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කරනවා. දැනට විපක්ෂයේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අධීක්ෂණ කමිටු වගේ කමිටු ස්ථාපිත කරලා තිබෙනවා. ඒත් මේවා සම්පූර්ණ කරන්න බැරි වෙලා තිබෙනවා.

සමහරු ජාතික සභාවට එනවා සමහර අය එන්නේ නැහැ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනාම එකට එකතුවෙලා වැඩ කටයුතු කරයි කියලා. අපි මෙතනින් නවතින්න හොඳ නැහැ.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතලා ඒ අනුව අපි කටයුතු කළයුතුයි. ජනතාවට ගම් මට්ටමේ දේශපාලනය එපා වෙලා තිබෙන නිසා අද අලුත් සංකල්පයක් අපි පිළිගන්නවා. ආණ්ඩුව නොවේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා ජන සභා ක්‍රමය ඉදිරිපත් කරලා තිබෙනවා. හැම ඡන්ද කොට්ඨාසයකම ඒ ගමේ තිබෙන පොදු සංවිධාන එක් කරලා එක් කමිටුවකින් ඒ වැඩකටයුතු කරන්න. ඒවට තමයි ජනසභා කියන්නේ. ඒ ක්‍රමය හොඳයි. මීට පෙරත් මේ ක්‍රමය තිබුණා ග්‍රාමෝදය මණ්ඩලය හැටියට. ඒක ආණ්ඩුවට සම්බන්ධ එකක්, මෙය ආණ්ඩුවට සම්බන්ධ නොවන එකක්. මේ ජන සභා වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපාරොත්තු වෙනවා.

ජනසභා ක්‍රියාත්මක වන විට ප්‍රාදේශීය සභා එක්ක සම්බන්ධීකරණය තියෙන්න ඕන. ප්‍රාදේශීය සභාවට ජන සභා ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොමද අපි එකට වැඩ කරන්නේ කියලා සැලසුම් කරන්න ඕන. ප්‍රාදේශීය සභා ක්‍රමය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. බොහෝ ප්‍රාදේශීය සභාවලින් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒවත් යැපෙන්නේ බදු මුදල්වලින්. මුදල් ලබා ගන්න නගර සභා, ප්‍රාදේශීය සභා ඒවා පඩි ගෙවන්න යොදවනවා. එහෙනම් අපිට මේ ක්‍රමය ගැන හිතන්න තිබෙනවා.

නමුත් පසුගිය සැරේ අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හාරදහස, අටදහස කළා. රට ඉල්ලුවේ නැහැ, පක්ෂ නායකයින් එකතු වෙලා මේ වැඩකටයුත්ත කළා. එහෙනම් අපිට දැන් තිබෙන්නේ ඊළග ඡන්දයට කලින් මේ අටදහස, හාරදහස බවට අඩු කර ගන්න.

පාර්ලිමේන්තුවේ ඒ නීති සංශෝධනය කරන්න කටයුතු කරමු. එතනින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු. ඒ වගේම තවත් හදිසි සංශෝධනයක් තිබෙනවා. මේ ප්‍රාදේශීය සභාවල විධායක ප්‍රධානී ලෙස ඉන්නේ සභාපතිවරු. සමහර අය ඒකට විරුද්ධයි. ප්‍රාදේශීය සභා ක්‍රමයට පෙර නගර සභා, ගම් සභා තියෙන කොට එහෙම බලයක් තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ අපි ප්‍රාදේශීය සභාවේ විධායක බලය විධායක කමිටුවට දෙමු.

ඒකේ ප්‍රධානියා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. දැන් මුදල් කමිටු තිබෙනවා. ඒ වගේ විධායක කමිටුවක් ඇති කරමු. අපි මේ කරුණු දෙක ඉටු කර ගන්න ඕන ඊළග ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර. ඒක අපි කළ යුතු දෙයක් කියලා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඊට අවශ්‍ය නීති කෙටුම්පත සකස් කරන්න කියලා අපි ඇමතිවරුන්ට දැනුම් දුන්නා.

ඒ වගේම මේ මනාප ක්‍රමයට බොහෝ දෙනෙක් කැමැති නැහැ. කවුරුත් මනාප ක්‍රමය ගැන ඉස්සෙල්ලා හිතුවේ නැහැ. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දීර්ඝව හිතලා 1975 යෝජනා කළා ලැයිස්තු ක්‍රමය, ඒක අනිත් පක්ෂත් පිළිගත්තා. මොකද ඒකෙන් ලැබුණේ අනුපාත. ඒ අනුව අපි නගර සභා ඡන්ද පැවැත්වුවා. මහනගර සභා ඡන්ද පැවැත්වුවා. දිස්ත්‍රික්ක සංවර්ධන සභා ඡන්ද පැවැත්වුවා, ඒ ක්‍රමය සාර්ථකව අපි ඉදිරියට ගෙන ගියා. එහෙත් 1988 වර්ෂයේ හදිසියේම පාර්ලිමේන්තුවේ පක්ෂ තීරණය කළා ලැයිස්තු ක්‍රමය වෙනුවට මනාප ක්‍රමය ගේන්න. එක මනාපයක් නෙවේ, මනාප 03ක් දෙන්න. ඒ වගේම තමයි 196ක්ව තිබුණ මන්ත්‍රි සංඛ්‍යාව 225 බවට පත් කළා.

මේ රටේ දේශපාලනයේ දූෂණයට ප්‍රධානම හේතුව මනාප ක්‍රමය. ඉතින් අපි අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කරන්න ඕන. මනාප නැති ලැයිස්තු ක්‍රමය, නැත්නම් මිශ්‍ර ක්‍රමය (කේවල හා අනුපාත ක්‍රමය) මේ දෙකෙන් එකක් ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න ඕන. එන ඡන්දයට කලින් තීරණයක් අරගෙන ඒ ඡන්දය අලුත් ක්‍රමය යටතේ පවත්වන්න ඕන.

එතකොට සුදුසු පුද්ගලයන් තේරි පත්වෙනවා. මෙය අපි සිදු කළයුතු දෙයක්. අද පක්ෂ අතර එකඟත්වයක් නැහැ. ප්‍රධාන පක්ෂවලට එකක් කියනවා, සුළු පක්ෂවලට එකක් කියනවා. මෙහෙම ඉදිරියට යන්න බැහැ. දේශපාලන පක්ෂ මෙම තීරණය ගත යුතුයි.

මම අධිකරණ අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරනවා. ඒක රැස් වෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. මේක කල් දාන්න ඉඩ දෙන්න බැහැ. මොකද ජුනි, ජුලි මාසය වෙනකොට තීරණයක් ගන්න බැරි නම් මම ජනමත විචාරණයකට යනවා ජනතාවගේ අදහස් ලබා ගන්න කොයි ක්‍රමය ද හොඳ කියලා.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා, ඒ ක්‍රම ගැන කතා කරනවා. කතා කරලා එක ක්‍රමයක් තෝර ගන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාව ඒ කටයුතු අවසන් කරන්න. නැත්නම් මම ජනතාවගේ අතට දෙනවා ඒ වැඩකටයුත්ත කරන්න. අපිට මෙවායින් ඉවත් වෙන්න බැහැ. අපි ඉදිරියට යා යුතුයි.

අද මැතිවරණවලට විශාල මුදලක් වැය කරනවා. මම 77දී පැරණි ක්‍රමයටයි ඡන්දය කළේ, එදා වියදම් සීමා කළා. අද සමහර අය ඡන්දය කරන්න මිලියන 20-30, 50 වැය කරනවා. කොහොමද මේවා ආපසු ගෙවන්නේ. මේ ක්‍රමයෙන් මන්ත්‍රීවරු හිර කරලා තිබෙනවා. එහෙම නම් අපි ඡන්ද නීතියෙනුත් ඡන්දයට වියදම් කළ හැකි මුදල් පිළිබඳ සීමාවක් දාන්න ඕන. මම 77 ඡන්දයට ඉදිරිපත් වෙද්දි එම සිමාවන් තිබුණා. ඒ අනුව තමයි අපිට වැඩ කරන්න සිද්ධ වුණේ. ඒ කාලේ පෝස්ටරයක් ගහන්න බැරි වුණා. එහෙම නම් මැතිවරණයට වැය කරන මුදල් ගැන සීමාවන් ගේන්න කටයුතු කරන්න ඕන.

තව කාරණයක් තිබෙනවා අද අපේ දේශපාලන පක්ෂවල තරුණ පිරිස් නැහැ. හුඟක් අය පරණ අය එක්ක නමින් වැඩ කරනවා. අලුත් සංවිධාන නැහැ. එහෙම නම් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ගැනත්, ඒවායේ වැඩකටයුතු ගැනත්, කොහොමද සාමාජිකයන් බඳවා ගන්නේ, කොහොමද මධ්‍යම කාරක සභා තෝරගන්නේ, කොහොමද අපේක්ෂකයන් තෝර ගන්නේ යන කරුණු ගැනත් වෙනම නීතියක් ඉදිරිපත් කරන්න ඕන.

දැනට ජර්මනිය වගේ රටවල දේශපාලන පක්ෂ නීතිය කියල නීති තිබෙනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. කොහොමද මුදල් එකතු කරන්නේ, මුදල් එකතු කරන්න බැරි අවස්ථා මොනවද මේ සියල්ල ගැන නීති තිබෙනවා. එවිට විනිවිදභාවයෙන් වැඩ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට උසාවියට යන්න පුළුවන් ඊට විරුද්ධව.

විනිවිදභාවය තිබෙන නිසා, ඒ වගේම මැතිවරණ වියදම් සීමා කරන නිසා ඒ රටවල පාර්ලිමේන්තුවෙන් මුදල් දෙනවා දේශපාලන පක්ෂවලට.

ඡන්දයටත් මුදල් දෙනවා. පාර්ලිමේන්තුවෙන් දෙන එක වඩා හොඳයි පුද්ගලික ආයතනවලින් ගන්නේ නැතිව. ඒවා සීමා කරලා තිබෙන්නේ.

ඇමරිකාවෙත් මේ ක්‍රමය තිබෙනවා. එහෙම නම් අපිත් මේ නීති ගේන්න ඕන. ඒ ගැන යෝජනා ලබාදීමට මම වෙනම කොමිසමක් පත්කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ලබන වසර තුළ සිදු කළ යුතුයි.

අලුත් ආර්ථිකයක් සමග අලුත් ආකල්පයක් තිබෙන්න ඕන. ඒවගේම මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ කියලා සමහරු දොස් කියනවා.

මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් ඒ අය විනය කඩලා තිබෙනව නම්, කෙසේ හෝ මෙය වඩා ශක්තිමත් කිරීමට මම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කරනවා වගේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ, සාරධර්ම පිළිබඳ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරන්න ඕන. එංගලන්තයේ තියෙනවා Parliamentary Standard Act ඒ අනුව ක්‍රියා නොකරනව නම් ඒ ගැන වාර්තා කරනවා. එහෙම වාර්තා කළාම ඒ අය ජනමතය නිසාම ඉවත් වෙනවා. වෙන පියවරක් ගන්න බැහැ. දැන් ළඟදි එක්කෙනෙක් ඉවත් කරලා තිබෙනවා විවාදයෙන්.

එහෙමනම් අපි මේ සියලු නීති රීති ගේනවනම්, මේ සංශෝධන කරනවනම් අපිට පුළුවන් ජනතා විශ්වාසය දිනා ගන්න. එතකොට ඊළග ඡන්දයෙදි බොහෝ දෙනෙක් ගිහින් ඡන්දය පාවිච්චි කරනවා. 85%ක් ඡන්දය පාවිච්චි කරන්න වුවමනයි.

අපි ආකල්ප වෙනස් කරගන්න ඕන. තවම පරණ විදියට පෙළපාලි ගිහින් හරියන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගිහින් අරගලයට හේත්තුවෙලා තිබෙනවා සහයෝගය ලබා ගන්න. අරගලය හේත්තුවෙලා නැහැ,දේශපාලන පක්ෂවලට. අපිට තිබෙන්නේ ජනතාවගේ අදහස් අනුව නීති රීති ගෙනල්ලා ජනතාව කැමති අය පාර්ලිමේන්තුවට පත් කරගන්න අවස්ථාව ලබාදීමයි. මේ වැඩකටයුතු තමයි අපි ඉදිරියට සිදු කළ යුත්තේ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා මහජන ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන, සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත යන මහත්වරුන් සහ නීතිඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් ගෙන් සමන්විත වෘත්තිකයන් පිරිසක් සහභාගි වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.