තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ පවසති.
“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට පත්ව, වෙස් වළාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව උන්වහන්සේ සඳහන් කළහ.
අද (21) පෙරවරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර .“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණ.
මෙහිදී අනුශාසනා කළ ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ,
“මේ මිහින්තලේ පුදබිම කියලා කියන්නේ මීට වසර 2330කට පෙර ධර්මාශෝක රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ මිහිදු මහා රහතන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ රජකම් කළ දේවානම් පියතිස්ස රජතුමා අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුව සිදු වූ ස්ථානයයි. මෙතනින් තමයි භාරකාර සංකල්පය හඳුන්වලා දුන්නේ. “නුඹට ඕන විදිහට දඩයම් කරන්න බැහැ. සත්තු මරන්න බැ පොළවේ, ජලයේ සහ ගුවනේ” එතන ආගම් බේදයකුත් නැ. ජාති බේදයකුත් නැ. පක්ෂ පාටත් නැ. එතකොට එතන තිබ්බේ භාරකාර සංකල්පය සියලුදෙනාම ආරක්ෂා කරන්න ඕන. ඒ විතරක් නෙවේ ගහ කොළ, මද නළ මේ භූමිය සියල්ල ආරක්ෂා කිරීම භාරකාරත්වයට, නැත්නම් රජකම් කරන තැනැත්තාට අයිතියි කියලා මිහිදු මහ රහතන් වහන්සේ එදා කියලා දුන්නා. මිහිදු මහ රහතන් වහන්සේගෙන් පැවත එන ලාංකීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස අපි සතුටු වෙනවා, ආශිර්වාද කරනවා වසර 2330කට පස්සේ මේ රට භාර අරගෙන, එහි භාරකාරත්වය දරමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා අපේ ජනාධිපතිතුමා මෙතනට සම්ප්‍රාප්තිවීම පිළිබඳ. අපි එතුමාට ආශිර්වාද කරනවා. සුබ ප්‍රාර්ථනා කරනවා.
“දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුය” කියලා තිබෙනවා හුණුවටයේ කතාවේ. එදා බොහෝ මාධ්‍ය, දේශපාලනඥයන් ඔබතුමාගේ චරිතය ඝාතනය කළා. දකුණට ගිහිල්ලා කියනවා ත්‍රස්තවාදිය කියලා, එහෙම කිව්වේ රට පාලනය කරපු පාලකයෝ. ඒ වගේම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකුත් තිබුණා. “රනිල්ට බැ” කියලා කියපු ඒ මතවාදය “රනිල්ට ජනාධිපති පදවිය ලබාදිය යුතුයි” කියලා කියමින්ම එදා අපේ මංගල සමරවීර මහත්තයා නිවැරදි කර ගත්තා. අනිත් කෙනා ශ්‍රීපති සූරියආරච්චි මහත්තයා. ඒ වගේ තවත් බොහෝ අය ඉන්නවා.
අවසානයේ අපි දන්නවා යුද්ධ දෙක තුනක් තිබුණා. 1989, එල්.ටී.ටී.ඊ ය එක පැත්තකින්. ජනතා විමුක්ති පෙරමුණ තව පැත්තකින්. ට්‍රාන්ස්පෝමර්, කර්මාන්තශාලා සියල්ල ගිනි තියනවා. අනිත් පැත්තතෙන් බෝම්බ පුපුරනවා. හැබැයි ඒ කාල වකවානුවෙත් මෙච්චර පීඩනයකට, මෙච්චර අසීරු තත්ත්වයකට රට වැටිලා තිබ්බේ නැහැ.
අද එක පැත්තකින් කොරෝනා වසංගතය, අතිත් පැත්තෙන් දේශපාලන අස්ථාවරත්වය. වර්ගවාදය, ඒ වගේම ආගම්වාදය, ජාතිවාදය මේ සියල්ල තිබෙනවා. අපි දන්නවා රටක් තිබුණට රටේ නීතියක් නැති වුණා අවසානයේ. පොලීසියේ වාහන පරීක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කළ අය. නීතිය අතට ගත්තා. පොලිසියට ගහන්න ගත්තා. අවි ආයුධ සොරාගත්තා. විවිධ දේවල් කළා.
අවසානයේ දී වෙස් වළාගත් ආශිර්වාදයක් වගේ ඔබතුමා මේ රටට හොදක් කරන්න ඉදිරියට ආවා. ඔබතුමාගේ නිවස පවා රාජකීය විද්‍යාලයට ලියලා තිබෙනවා. ලෝකෙවත්, ලංකාවේවත් වෙන බිම් අගලක් ඔබතුමාට නැ. ඒ තිබුණ ඒවත් විශ්ව විද්‍යාලවලට, ඒ ආයතනවලට පූජා කරලා තිබෙන්නේ. එහෙම පරාර්ථකාමී චරිතයක් තමයි අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
එතුමා කියන දේවල් මිනිස්සු හෑල්ලුවට ගත්තා පසුගිය කාලවල. විහිළුවට ලක් කළා. නමුත් අවසානයේ මේ බැරූරැම් අවස්ථාවේ කෝච්චියට බෙල්ලා තිබ්බා වගේ වැඩක් එතුමාට කරන්න වුණේ. අගමැතිකම ගත්තා, ජනාධිපතිකම භාරගත්තා. අනිත් සියලුදෙනාටත් ජනාධිපති ධූරය භාරගන්න එන්න කිව්වා. නමුත් කවුරුත් භාරගත්තේ නැහැ.
මොනව කිව්වත් අවසානයේ රජකම ලැබෙන්නත් පින තියෙන්න ඕන. මේ ලංකාවේ භාරකරත්වය දරන්න, මේ උතුම් පූජනීය වස්තු දරන්න, විවිධ ආගම්, විවිධ ජාතීන් මේ සියල්ලේ භාරකරත්වය දරන්න ලැබීම වාසනාවක්.
ඒ වගේම ඔබතුමා රාජ්‍ය නායකත්වයට පත්වෙන්න පෙර සිටම කුඩා අවධියේ සිට මේ මිහින්තලා ආලෝක පූජාවට සහභාගී වෙනවා. ඒ වගේම අගමැතිවරයෙක් විදියට අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයට පැමිණිලා ආලෝක පූජාවට සම්බන්ධ වු කෙනෙක් තමයි ඔබතුමා. රජකම අරගෙනත් ඔබතුමා ඒක අමතක කළේ නැහැ”
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-21
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.