ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත ජන්ම දින සුභාශීංසන පිළිගන්වයි.
උන්වහන්සේගේ 74 වන ජන්ම දිනය හෙටට (25) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මහානායක හිමිපාණන් වහන්සේ වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කර තිබේ.
එම සුභාශීංසන පණිවිඩයේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි.
“ථේරවාදී බුදු සසුන සුරැකීම සඳහා කැපවූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාර්ය භාරය සුවිශේෂ වේ. එවන් සුවිශේෂ සඟනේත්‍රෘන් වහන්සේලාගේ සිරිත සදා පූජනීය වේ. එම ශෝභමාන සඟ ගුණය නූතනයේ ජීවමාන කරන ඔබවහන්සේගේ තපෝශීල ගුණැති චරිතාදර්ශය මම මහත් සේ අගයමි. විනය විශාරදත්වයෙන් අපිස් ගුණයෙන් සේම ප්‍රියශීලි ඥාණ වෘද්ධ මහාතෙර ගුණයක ආදර්ශය රාමඤ්ඤ මහානිකායට ලබාදෙන ඔබවහන්සේ ගෞරවනීය නිකායික මහා සංඝයාට පීතෘ ගුණැති ගුරුදේවාචාර්යාණන් වහන්සේ නමක බව මම දනිමි. සම්බුදු දහම ආලෝකමත් කරන මහානායක හිමියන්ගේ දිවියට වසර සැත්තෑ සතරක් සපිරෙන මොහොතේ උට්ඨානවීර්ය නිරෝගී සම්පත හා චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.
ත්‍රෛනිකායික මහා සංඝයාවහන්සේලාගේ ද අන්‍යාගමිකයන්ගේ ද බොදුනුවන්ගේ ද ගෞරවාදයට පාත්‍රව වැඩ වසන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක සේ ඔබ වහන්සේ ගෞරව බුහුමනට පාත්‍ර වේ. මෙම සුවිශේෂත්වය ශ්‍රී ලාංකික භික්ෂු වංශයේ මතු පැවැත්ම තහවුරු කිරීමට ප්‍රබල දායකත්වයකි. එමෙන්ම රාජ්‍ය පාලනය විෂයෙහි ඔබවහන්සේගෙන් ලැබෙන අවවාද අනුශාසනා මට මහත් ආශිර්වාදයකි. ශාසන පරිචයෙන් ද විනය ශික්ෂාවෙන් ද හෙඹි ඔබවහන්සේට ශතාවර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩ වසන්නට දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි”
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-24
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.