Published on: සැප්තැම්බර් 2, 2025

ජනපති අදත් උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.

ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත්වේ.

2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, පලෙයි නගරයේ ආරම්භ කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය.
මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමද අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති මෙම පාලම මතින් දිනකට වාහන 3000 කට වඩා ගමන් කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතී.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු 2කින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර රුපියල් බිලියන 1.4ක ජනතා බදු මුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.