Published on: අගෝස්තු 23, 2025

ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි.

මෙහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම බවත්, ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවත්ය.

එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද සිසු දරු දැරියන් ඇමතූ අතර දුෂ්කර ගමනකින් පසු සුවිසල් සමාජ පරිවර්තනයක් සමග රට භාරගත් වත්මන් රජය විශිෂ්ට අධ්‍යාපන පරිවර්තන යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබෙන බවත්, එම අධ්‍යාපන පරිවර්තනයන් යතාර්ථයක් කර ගැනීමෙන් රටේ දරුවන්ට සුන්දර අනාගතයක් උරුම කර දිය හැකි බවත් පැවසීය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද උත්සව සභාව ඇමතූහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.