Published on: ජූලි 8, 2025

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නරඹති

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (08) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ඒකාබද්ධව පාසල් ළමුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනට සමගාමීව, “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබදව සිසුදැරියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. මීට අමතරව, විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් රටේ අනාගතය වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ පර්‍යේෂණයන්හි කාර්යභාරය පිළිබඳ සිසුදැරියෝ දැනුවත් කරන ලදහ.

මෙහිදී, පාරිසරික සංරක්ෂණයේ අවශ්‍යතාව පෙන්වා දෙමින්, මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.