Published on: ජූනි 13, 2025

ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමු වෙයි

ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයට ඇරයුම්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට එක් විය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා විශේෂයෙන් සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දෙමින් තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව සඳහන් කළේය.

එහිදී, සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා ආයෝජනය කිරීමට ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරන බවද පැවසීය.

ශ්‍රී ලංකාවට මේ වන විට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර ජර්මනිය 04 වන ස්ථානයේ පසු වෙයි. 2024 වර්ෂයේ ජර්මානු සංචාරකයන් 136,000ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ මැයි දක්වා කාලය තුළ එරට සංචාරකයන් 69,000ක් මෙහි සංචාරය කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.