Published on: මැයි 15, 2025

ජනාධිපති කාර්යාල පරිශ්‍රය ආශ්‍රිත වෙසක් සැමරුම් තෙවන දිනටත්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී තෙවන දිනටත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සවස 6.30 ට ආරම්භ විය.

වෙසක් බැති ගී සරණීයේ තෙවන දිනයේ ශ්‍රී ලංකා පොලිසියේ වාද්‍ය වෘන්දය වාදනයෙන්ද, ජනප්‍රිය ගායන ශිල්පීන් වන ඉලියාස් බෙග්, ඉමාන් පෙරේරා, බුද්ධික උෂාන් සහ ශ්‍රී ලංකා පොලිස් බැති ගී කණ්ඩායම ගායනයෙන්ද සහභාගි වූහ. ඊට සමගාමීව වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම භක්ති ගීත වැඩසටහන අද (15) දිනයෙන් අවසන් වේ.

එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සල හා අයිස්ක්‍රීම් දන්සල ජනාධිපති කාර්යාලය අසලදී 16 වන දා දක්වා පැවැත්වේ.

එසේම ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබු අතර ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.