Published on: ඔක්තෝබර් 22, 2024

හදිසි ගංවතුර සහනාධාර ලෙස ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් මිලියන 30ක්

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොංග් (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

පසුගිය දා ඇති වූ අධික වැසි හේතුවෙන් පළාත් කිහිපයක සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය. ඉන් පවුල් දහස් ගණනක් අවතැන් වූ අතර යටිතල පහසුකම් සහ කෘෂිකර්මාන්තයට අදාළව විශාල හානියක් සිදුව ඇති බව වාර්තාවලින් අනාවරණය වී තිබේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.