Published on: ඔක්තෝබර් 2, 2024

ජනපති සහ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබා දීමට සහතික වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීම සඳහා චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී ඔහු විසින් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ප්‍රධාන වාණිජ සහ ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබා දෙන බවට ද තානාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික විය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.