Published on: සැප්තැම්බර් 27, 2024

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ

දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට
ජපානයේ පූර්ණ සහාය ලබා දෙනවා

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක්

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා දී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මිට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.